Saturday, December 31, 2011

සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :)

සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :)


සති මාස ගෙවී ගොස්
සිනා කඳුලැලි මැදින්
කල කියූ විඳි සියල්
හදවතේ ඉතිරි කර
මිතුරු කෙලි කවටකම්
අඬ දබර සිත් තැවුල්
ජය පරාජය සමඟ
වසරක් ම නික්මිලා...

ගෙවුණු වසරේ මෙන්ම
අදත් අත අල්ලාන
සෙනෙහසින් ළඟ ඉන්න
දයාබර යාලුවේ...,
ගෙවුණු වසරේ දෙයක්
සිත් රිදුම්, වැරදීම්
ගැන හිතා එපා තව
ටිකක් වත් ලතැවෙන්න.....


ගෙවුණ දින පසෙක ලා
හෙට පිණිස නැගිටින්න
අලුත් වසරක මිහිරි
උනුහුමට ඉඩ දෙන්න
ජිවිතේ ගෙවෙන හැම
මොහොතක්ම විඳගන්න
අද නැතොත් හෙට ඔබේ!
එපා සැකයක් ගන්න.....

සිත් කයේ රෝ සිඳී
දුක් තැවුල් නිවේවා...!!
සිත් තොසින් සත් සතන්
සිනා මල් පිපේවා..!!
නොහුණ හැම පැතුමක් ම
ඒ ලෙසේම පිරේවා...!!!
ලැබූ දෙදහස් දොළහ
සතුට රජ කෙරේවා....!!!!


ඇයි මක්..!!

ඇයි මක්..!!


“ඇයි මක් වෙලාද??”
“නෑ!”
“නෑ??”
“ඔව්!”
“ඔව් නම් නෑ කිව්වෙ???”
“නෑ කිව්වෙ වෙලා නැති නිසා!”
“මොනවද???”
“ඇයි මක්..!!”


Thursday, December 29, 2011

ෆේස් බූක්.....

ෆේස් බූක්.....


'කම්මැලියි!කීමි මං.
'වරෙන් ෆේස් බූක්'- මගේ මිතුරා,
උදේ දවල් රෑ තුන් වේලටම,
අතරට හා අතුරුපසටත්
ඒකේම පැලපදියම්ව සිටි...
'අපෝ!'
'යන්ඩ හෙම එපා!'
'ඕක මහ පිස්සුවක්!'
'ජරාවක්!'
'ඇබ්බෙහි   වේවි ඕන්!'
'අපෝ මං දන්නවා!සිනාසේ මං...
ඒත් වස කම්මැලියි...
දවසක්, දෙකක්, තුනක්..???
දැන්නම් අමාරුයි ...
ලස්සන හෝම් පේජ් එක!
අහ්ඒතරම් අමාරුත් නැහැ නෙව!
ඇබ්බෙහි වෙන්නද මේකේ මොනව?....,
මං දන්නවනං මං කරන දේ ...
මගේ හිත මට ෆුල් සපෝර්ට්..
හැබෑ තමා.....
මේකේ තියෙන කෑලි ගොඩ!
පාළුව යන්ඩ යාළුවො සේරම! 
ෂාහ්! මල් හතයි!....


කාලේ ගෙවෙනව...
උදේට නිකං පොඩ්ඩක් යනව,
කම්මැලි කමෙන් දවස පටන් ගන්ඩ හොඳ නෑ නෙව!
දවල්ටත් ඉතින්
නෑ නෙව කරන්ඩ වෙන වැඩක්!...
ඒක ඉතිං සුට්ටක් හවස් වෙනකන් ඇදෙනවා,
ඒක වෙනම කතාවක්...
රෑට!
රෑට තමයි හොඳම හරිය!
යාළුවොඅයාළුවො සේරම චැටට එනව...
එක එක ජාතියේ කෙල්ලෝ - එක එක වෙලාවට....
මෙහෙව් කෙල්ලෝ ටිකක් හම්බුනේ නෑ නෙව
මං ඉස්කෝලේ ගිය කාලෙක වත්...
'අඩේ..බුල්ටා! කොහොමෙයි??' 
අම්බෝ!... ඉස්කෝලේ ගියාට පස්සේ කොල්ලෝ ටික හම්බෙච්ච කල්!!....
අනේ!..ෆේස් බූක් නං හරී සෝක්!.. 
කාලෙ ගෙවෙනව....
'කම්මැලියි!යාලුවෙක් මට කියනව...
'අහ්!.... වරෙං ෆේස් බූක්!..............!'   
- බුල්ටා.




Tuesday, December 27, 2011

කඳුළු පිණි වැහි....

කඳුළු පිණි වැහි....


රෑ අහස කළුවරයි
රිදුනු වැහි වලාවන්
වැහි බින්දු පොදි පිටින්
පොලොව සිප හඬනවා.....
තුසර බැඳි කවුළු පත්
මත ඇඟිලි තුඩු යැවී
ගෙවුණු සුන්දර මතක
රූ සිතුම් මවනවා.....

එදා බැලූ හැම දෙසින් පෙනීලා
සිනා සැලූ නිල් ඔබේ දෙනෙත්
කොහේ සෙවූවත් ඇයි අද නැත්තේ?
අඳුර මා වෙලා ඔබ සඟවා...
ඔබ අත නොමැතිව සුරතේ අතැඟිලි,
අඩපන වී සෝ සුසුම් හෙලද්දී
අඳුර මැදින් ඔබ දැන් දැන් එයිදෝ
පෙඟුණු දෑස් තව මග බලනා.....


දවස දැන් දිගු වැඩියි
ඔබේ උණුහුම නැතිව,
බිඳුණු සිත සීතලින්
ඉකිගසා හඬනවා...
හුස්ම ලන හැමවරක්
පාසාම මහ බරක්
හදවතට එකතු වී
විලාපය නගනවා....

Monday, December 26, 2011

ලඟින් හිටපූ ඔබටයි...

ලඟින් හිටපූ ඔබටයි...


අඳුරු අහසට සඳක් ලූ සේ
එකලු වූ වැයි සිතිමි මාගේ
පොතට ගුලිවී තිබූ ජීවය
ඔටුනු හිමි කුමරිය වු දා ...
පිරිස බෝ මැයි එදා මා වට
බියක අඳුරක සෙයා නොමැතිව
තොසින් මන් මත් වීමි ඉපිලී
රටක් රජයක් දිනූ සේ...

එදා මා හා එක්ව හිනැහූ
මේ කියන්නේ ඔබටයි..
මගේ සතුටේ දී දිරි දෙමින්
ලඟින් හිටපූ ඔබටයි...

ඔටුනු පළඳා සිතූ පමණට
රටක් කරවුම පහසු නැති වග
දැනී කැපවී වෙහෙස වුයෙමි
මගේ රට ලස්සන කරනු වස්...
පළමු පමණට නැතත් එකලත්
මා වටා හිඳ සවිය සැලසූ
වූහ පිරිසක් මේ ගයන්නේ
ලඟින් හිටපූ ඔබටයි...

  අඳුරු කුරිරූ වලා රැලි විත්
සඳු වසා දස වධ දෙනා සේ
දුම් නැගී විත් ගිනි ද නොමැතිව
හිස වෙලා පැතිරී ගොසින්
හෙලපු දහඩිය මුගුරු පාගා
කිරුල උදුරා කිනිසි ඇන මට
මරණයට ලක් කෙරී ඉද්දි
මුලින් සිටි ඒ පිරිස කෝ?


එදා මරණින් මා මුදාලා
නගා සිටුවා කඳුළු පිසදා
මා වටා මහ පවුරු බැඳපූ
අතලොසක් වූ ඔබ නිසා
රටක් දිනිමී කිරෙන් සේදී
නිදොස් නිදහස් බව ලබා මා
දණින් හිඳිමින් තුති පුදන්නේ
ලඟින් හිටපූ ඔබටයි...

මගේ සෙත වෙනුවෙන් හඬාපූ
සටන් කර මට අභය දීපූ
හදවතට හැමදාම ළඟ වූ
සදාදරණීය ඔබටයි....


Sunday, December 25, 2011

සුබ උපන් දිනයක් වේවා!! සිනා බෝ වේවා!!! :)

සුබ උපන් දිනයක් වේවා!! සිනා බෝ වේවා!!! :)


විසි වසක පෙර ඇරඹි
ලබැඳි ඒ කතාවේ
එදා ඒ බැඳුණු මුදු
ළපටි අතැඟිලි අදත්
එදා මෙන් සෙනෙහසින්
බැඳී ඇති මහ අරුම
උණුහුමින් රුහිරයේ
උනුන් සුවපත් කෙරුණ....

සිනහවෙන් කඳුළකින්
පිරුණු රස පිරි කතා
ආදරෙන් බෙදා ගත්
විසම සම හැම සිතැඟි
වැටුණු හැම විටෙකදිම
නැගිටින්ට අත පාපු
කඳුළු වැල් පිස ද දා
සිනහවෙන් දිරි දීපු....


සීත උඳුවප් මහේ
ජේසු බිලිඳුන් ඉපිදි
පින් පිරුණු නත්තලේ
මෙලොව ඉරු දැකල ඔබ
අදට වස් විසි තුනයි
දයාබර සොයුරියේ,
මහමෙරක් සේ දැනුන
හරි පුංචි කාලයක්....

ගෙවෙන හැම මොහොතක්ම
සුබ වෙන්න පතන්නම්
සතුට ඔබ සොය සොයා
හුස්ම සේ හඹා එන
පැතුම් මල් ඒ ලෙසින්
අතු වසා පූදින්ට
දුක් කඳුළු සිත් තැවුල්
කොහේ දැයි නොපෙනෙන්ට
තවත් මතු භවේදී
මටම සොයුරිය වෙන්න
ඔබ තැබූ පියවරේ
මට යන්ට ඉඩ දෙන්න....


සිතූගේ චූටි අක්කාට සුබ උපන් දිනයක් වේවා!!
සිනා බෝ වේවා!!! :)