Monday, February 27, 2012

(ම)ලක් පනී!!! :))


අපි ඉස්කෝලේ ගිය කාලෙ කරපු එක්තරා ඉතා අහිංසක බයිටක් ගැන තමයි මේ post එකෙන් ලියවෙන්නෙ.  මේ කතාවෙ කතා නායකයා ඇවිල්ලා අපේ සදාදරණිය සහෝදර පාසලේ ඉගෙන ගත්ත ඒ වචන වලින්ම කිව්වොත් මගේ ගොඩාක් හොඳ ‘බොක්කක්!’ (මූ හදිසියේ මගේ ඔලුව කෑවොතින් නිසා මුලින් butter ටිකක් ගාල තියන එක කෝකටත් හොඳයි! hehe :P )

හොඳයි අපි එයාට කියමු ‘ලක්පති’ කියල! (මේ ඇත්ත නම එහෙම නෙවෙයි!!) මෙයා ඇවිල්ලා හරි ෂෝක් හුරුබුහුටි පාට ළමයෙක්! අපේ යාළු කමටත් දැන් අවුරුදු ගානක් වෙනව. ඒත් වැඩේ තියෙන්නෙ අනේ මේ ළමයට මල පනින්නෙ එහෙම හරීම අඩුවෙන්. අඩුවෙන් කියන්නේ...නිකං පනින්නෙම නැති ගානයි! (ඉතිං මටත් මල පනින්නෙ ඊට පොඩ්ඩ්ඩක් වැඩියෙන් නිසා අපි රණ්ඩු නම් වෙන්නම නැති ගානයි. රණ්ඩු?? ඒ මොනාද ඒ???? හරි ඒක වෙනම කතාවක්.)

ඉතිං...මේ ළමය එහෙම අවුස්සන්න කාටවත් බෑ. එයා එහෙම ඇවිස්සෙන්නෙත් නෑ.. අම්බෝ..හරිම cool පොරක්! cool කියන්නේ.. ice වෙලා, වෙව්ලලා, ඉරිතලනව.. hehe.. හරි හරි.. ඒ ඇති!

කොහොම හරි ඉතිං අපේ මේ ලක්පති අපේ ඉස්කෝලෙ සැලකිය යුතු තත්වයක් තිබ්බ ළමයෙක්. ගොඩක් නෙවෙයි පොඩ්ඩක් එහෙම කට්ටිය දන්නව ඉතිං..(එහෙම තමයි. නැතුව මෙව්ව කියෝලා අරූ තව උඩ ගියොත් එහෙම ආයෙ අපටමයි කරදරේ!! :P ) කොහොම හරි අපි දෙන්නටම සිංහල සාහිත්‍ය බැරි වුණත් (අපි දෙන්නට නෙවෙයි එහේ, මෙහේ හැමෝටම ඉතිං..:P) අපි දෙන්නම ඒ වගේ සංගමේක වැඩ කළා ඉස්කෝල දෙකේ.( ‘කළා’ කියන්නේ.. ‘කරන්න සිද්ධ වුනා!) හරි.. මේ හඳුන්වාදීම ප්‍රමාණවත් මං හිතන්නෙ අපේ කතාවට....

ඔන්න ඉස්සෙල්ලම A/L කරන කාලෙ, මට හිටිය හරි වැදගත් යාළුවො සෙට් එකක්! :P ඒ දවස්වල ඉතිං vacation  එකේ ඉස්කෝලෙ extra classes දානවනෙ. කොහොම හරි ලක්පති ගෙ උපන් දිනෙත් මේ කාලෙ දවසක වැටිල තිබුණ. ඉතිං දවසක් අර කිව්ව වැදගත් යාළුවො සෙට් එකේ ඉතාම වැදගත් යාලුවෙක් වෙච්ච අපේ ‘කවියා’ ඌම කියාගන්න විදියට ‘golden idea’ එකක් ගෙනාව අපි අදාල දවසට මොකක් හරි බයිටක් මේ ළමයට දෙමු birthday surprise එකක් වගේ කියල! 
(අන්න බලන්න කොච්චර අහිංසක පරමාර්ථයක් ද!! නැත්තං ‘මම’ කැමති වෙනවයැ! :D lol )

කොහොම හරි අදාල දවසෙ අපිට chemistry extra class එකක් තිබුණ. දැන් උදේම අපේ සුජී ආපු ළමයි ටිකත් පිරිවරාගෙන අපිට ඉන්න class room එකක් හොයනව. එයා අපිව ඔෆිස් එක ඉස්සරහ තියල ඔන්න ගියා lab එකක් හරි මොකක් හරි free ද බලන්න. අන්න අදාල නැකත එළඹුණා! ඔත්තු බලන වැඩේට කට්ටියක් දාල මමයි, කවියයි, අමයයි, ගීසුයි ෂේප් එකේ ටෙරාසෝ එකට ගියා. දැන් හරි. රඟපාන වැඩේ ඒකමතික කැමැත්තෙන් අමයට භාර දුන්න මොකද එයාට හරි පොඩ්ඩයි රඟපාන්න පුළුවන්. කවියයි මායි එකතු වෙලා කියන්න ඕනි ටික උට ඉගෙන්නුවා. ඊට පස්සේ අපි පොඩි rehearsal එකක් කළා, මම ලක්පති කියයි කියල හිතෙන විදියට අමය කියන ඒවට උත්තර දීල.

දැන් හරි! කවියගෙ ෆෝන් එකෙන් ලක්පතිගේ number එක dial කරල loudspeakers දැම්ම. ගීස්‌ ගෙ ෆෝන් එකෙන් recording දාල! දැන් සියල්ල සුදානම්!!!  :D :D

rings යනව. එහා පැත්තෙන් ලක්පතිගේ සුපුරුදු හඬ!
“ඇලෝව්...?”

ඔන්න අමය අපි උගන්නපු දෙබස් ටික කියනව. “හෙලෝ, මේ.. ලක් පනී අමරසේකරද...??”

විනාඩියක නිශ්ශබ්දතාවයක්. මට දැනුත් ලක්පති ගෙ මුණ මැවිල පේනවා!
“කවුද?” ටික වෙලාවකින් ඌ ආයෙ අහනව.

“ලක්පනී අමරසේකර??”
අමයා බබා වගේ අහද්දි අපි සද්ද නොකර ඉන්න අති විසාල උත්සහයක් ගත්ත. ඔන්න දැන් රතු කට්ටට ලඟයි! අපිට ඒක ඒ තරම්ම සාමාන්‍යයිකරණය වෙලා; tone එක වෙනස් වෙද්දි කියතැකි.

“Err.. ලක්..පනී කියල කෙනෙක් නෑ නෙ මිස්, මම ලක්පති අමරසේකර!” අනේ හැබෑද..?? හරි මාරයි!!

(අමය බොහොම සාමාන්‍ය හඬින්)  “අර.. අහවල් ඉස්කෝලෙ සිංහල සාහිත්‍ය සංගමේ...?”
“ඔව් ඔව් මිස්..එයා තමයි..” වාක්‍ය ඉවර කරන්නත් කලින් පැනල දුන්න. වඩා හොඳයි! :P

(ඉතා ගරු ගාම්භීරව) “ආහ්.. මම මේ කතා කරන්නෙ පුතා අහවල් ඉස්කෝලෙ ළමයෙක්ගේ අම්ම කෙනෙක්!” 
(මේ අහවල් ඉස්කෝලෙ කලින් අහවල් ඉස්කෝලෙ නෙවෙයි හොඳද? මේක අපි දෙගොල්ලොගෙම ඉස්කෝල වලට අදාලත්වයක් නැති, අපට ටිකක් දුර, වෙන කාන්තා පාසලක්‌).....

ඔන්න ලක්පති පොඩ්ඩක් cool! ඇයි ඉතිං parent කෙනෙක්ට කතා කරනකොට පොඩ්ඩක් තියෙන්න එපැයි පොඩි මෙව්ව එකක්. 
“ඔව් මිස්..කියන්න..”

“ආ..! ඔගොල්ලොන්ගේ තිබ්බ නේද පුතා අර අන්තර් පාඨශාලයිය රචනා තරඟ වගයක්??”

“ඔව් මිස්..”

“ආ..! මගේ දුව පුතා ඔයාලගෙ ඔය තරඟෙකට සහභාගී වුණා..ඔයාල result sheets ඉස්කෝලෙට එවල තිබුණ නේද ගිය සතියෙ?”

“ඔව් මිස් ..ඉතිං?” මූ නිකං මහ ඒජන්ත උන්නාන්සෙ වගේ කතාව! අපිට මිස් කිය කිය මෙතන! :P :P

(ඉතාම serious හඬින්, මහා පුදුමයක් විස්තර කරන්නා සේ) “ඉතිං පුතා අපේ දුවගෙ නම ඒ ලිස්ට් එකේ නෑ නේ!!!! :O ”

තවත් නිශ්ශබ්දතාවයක්.. ලක්පති ඇස් ලොකුකරල අර cartoons වල වගේ ‘මික් මික්’ කියල පිල්ලම් ගහනව මට මැවිල පෙනුන. දැන් නම් සද්ද නොකර හිනා වෙන්න ඉතාම අමාරුයි..

“Errr... ලිස්ට් එකේ..නෑ කියන්නෙ මිස්...???”

“ලිස්ට් එකේ නෑ කියන්නෙ පුතා ඔයාල ඉස්කෝලෙට එවපු result sheet එකේ අපේ දුවගෙ නම නෑ. ඒ අංශෙන් දිනපු කට්ටිය හැටියට තියෙන්නෙ වෙන නම් ටි‍ක‍ක්‍!!!”

ඔන්න දැන් අපහු රතු කට්ට පැනීමට ආසන්නයි.. හොඳ හොඳ ඒවා අපේ ලක්පතිගේ ළමා මනසට එන්නට ඇතුවාට සැක නැත! hehe..

“ඉතිං මිස් එහෙනම් මිස්ගෙ දුව ඒ තරඟෙන් place කරන්න නැතුව ඇති! ලිස්ට් එකේ තියෙන්නෙ දිනපු අයගෙ නම් විතරනෙ!”

(අපේ අමයා ඒ අතින් සිරා ය! අනේ හිනා යන කතා කියන්න එපා කියන්නා සේ) හහ්හ්!! place කරන්න නැතුව ඇති?? place කරන්නෙ නැති වෙන්නෙ කොහොමද පුතා??!!! දැන් බලන්න අපේ දුව මේ සිද්ධිය නිසා මානසිකව කඩා වැටිල!!!”

සද්ද නොකර හිනා වීම නිසා අපේ හුස්ම හිර වෙන්න ආසන්නයි. ඔන්න්න රතු කට්ටට තව පොඩ්ඩායී...
“කඩා..වැටිල කියන්නෙ මිස් ඉතිං ඕක ලියන හැමෝටම දිනන්න බෑ නේ! තරඟයක් වුනාම ජය පරාජය දෙකම බාර ගන්න ලෑස්ති වෙන්න ඕන! ළමයි කී දෙනෙක් ඕකට ලිව්වද!!”

“ඔයා එහෙම කතා කරන්න එපා පුතා! අපේ දුව සමස්ත ලංකා පවා place කරපු ළමයෙක්.. දැන් ඔයාලගෙ ඔය තරඟෙ සමස්ථ ලංකා නෙවෙයි නේ!!!

න්න්න්න පැන්නා.. මල් පොකුරු පිටින්න්න්...hehehe.. මේ වෙලාවට තමයි ඔලුවෙනුත් එක්ක හිනා යන්නෙ. මූ කියන්නෙ rehearsal එකේදි ඌ වෙනුවට මම කියපු ටිකමයි.  

(අධි ගැම්මෙන්) “මොකද්ද.. මොකද්ද දැන් සමස්ත ලංකා නෙවයි කියන්නෙ මිස්?? සමස්ථ ලංකා නෙවෙයි වෙන්නෙ කොහොමද! කවුද කියන්නෙ?? කොටින්ම අපි මේක යාපනේටත් අරන් ගියා!!”

අමය මං දිහා බැලුවා.
“දැන් කවුද මේවා බැලුවේ? මට දෙන්න ඉහල කෙනෙක්ගෙ number එකක් මං කතා කරන්න!”

“බැලුවේ experienced pannel එකකින්. ඒකට principal ගෙයි අදාල හැමෝගෙමයි අනුමතය ලැබිලයි තියෙන්නෙ. කොටින්ම මේකට අහවල් අමාත්‍යංශයේ අනුමැතියත් තියෙනව. අපිට මේ වගේ පොඩි දේවල් වලට කතා කරන හැමෝටම numbers දෙන්න එපා කියල තියෙන්නෙ. කියන්න තියෙන දෙයක් මට කියන්න.”

අමය ආපහු මං දිහා බැලුවා. ඌ පස්සෙ වෙලාවක මට කිව්ව ‘මට හිතුන තමුසෙල දෙන්න එකතු වෙලා මාව බයිට් කරනවද කියල!’ ඇයි අරූ කියන්නෙ කලින් මම කියපුවම නෙ! hehe..ඇඬී ඇඬෙනව!!

(ටිකක් සැරෙන්) “මෙහ්හ්,, මට මේ ඔය ළමයත් එක්ක කතා කර කර ඉන්න උමනාවක් නෑ!”

“ඉතිං මටත් උමනාවක් නෑ! මට මෙහෙම නාස්ති කරන්න කාලෙකුත් නෑ. මොකද්ද.. මොකද්ද මිස් මේ කන්න වැඩේ තේරුම??? මොන එහෙකටද මට කතා කරේ??”

(අපේ අමයා) “බොහ්හෝම ලස්සනයි වැඩිහිටියන්ට කතා කරන හැටි!!!!”  LOL

අපේ ඉල ඇට සියල්ල කුඩු වීමට ආසන්නයි!
“මොන්න මගුලක්ද මේ!! මොකද්ද දැන් මට කරන්න කියන්නෙ!?? මොකද්ද..මොකද්ද ඔයා මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ?? ඔයාට මොනවද ඕනේ???”

Fun කෝටියයි!! ඒත් දැන් දැන් රතු කට්ට රක්ත තප්ත වන බව අපට තේරුණා.. අනික කොයි වෙලේ කවුරු කඩා පාත් වෙයිද දන්නෑ නෙ.. ඒ නිසා surprise එකේ අවසානය සනිටුහන් කරමින් (නැගී සිට ගයමු ජාතික ගිය නෙවෙයි!! :P ) අපි කට්ටියම එකට හයියෙන් HAPPY BIRTHDAY LAKPATHYYYYY!!!!! කියල කෑ ගැහුවා! හීඊඊ... :D

තවත් නිශ්ශබ්දතාවයක්.. ලක්පතිගේ කන්දෙකෙන් දුම් දානව වගේ මට පෙනුන. ඊළඟට ඇමතුම විසන්ධි වුණා. මල පැනීමේ උච්චතම අවස්ථාව! අපේ උත්සාහය අති සාර්ථකයි! එදා chemistry වල උගන්නපු හැම දේම ගොඩාක් මතක හිටිය!

ඒත් හොඳම එක තමයි මේ ළමය හිතල තියෙන්නෙ අපි නෙවෙයි වෙන කවුරු හරි call කරල බයිට් කළා කියල. ඒක කළේ මම ඇතුළු අපේ මෝඩ සෙට් එක කියල දැන ගත්තම අර වගේ දහ ගුණයක් විතර ලොකු අග්නි ජාලාවක් මගෙ ඔලුවට පාත් වුණා.. පස්සෙ බොහොම අමාරුවෙන් තමයි යාලු කරගත්තෙ. මේක නම් ලියන්නෙ නිත්‍යානුකුලව අවසර අරගෙන. ඒ නිසා වැඩිම වුනොත් නිලා කූරක් වගේ තමයි පාත් වුනොත් පාත් වෙන්නෙ..hehe..

කොහොම හරි, ඊට පස්සෙත් අපි දහ පාරකට වඩා රණ්ඩු වෙලා මරාගෙන ඇති. ඒත් තාමත් අපි ගොඩක් හොඳ යාළුවො!! ඉතිං ඒකනේ වැදගත් වෙන්නෙ.. මොකද මං හිතන්නෙ ඒ රණ්ඩු වෙන එකත් දැන් ටික ටික සාමාන්‍යයිකරණය වෙලා!!! :D :D



Tuesday, February 14, 2012

ප්‍රේමාගේ ප්‍රේමය!!!!.... :D


ප්‍රේමා අපේ ගෙදර අත් උදව්වට ආවේ මීට අවුරුදු හයකට විතර කලින් වගේ ඉස්සර. එයාගේ මුල් නම ‘ඇලිස් නෝනා’ ය, එයා පස්සෙ එක ‘ප්‍රේමවතී’ කියල වෙනස් කර ගත්තාය, පස්සෙ දැන් ඒක ‘ප්‍රේමා’ වෙලාය වගේ එක එක කතා එක එක්කෙනා කිව්වත් අපි එයාව දැනං හිටපු කාලෙ හැමෝම එයාට කතා කලේ  ‘ප්‍රේමා’ කියල. අරාබිකරේ රට රටවල් ගානක ගෘහ සේවයේ යෙදිල හිටපු ප්‍රේමා අපේ තාත්තටත් වඩා වයසින් වැඩිමල් වුණත් කණට කරාබු දෙකක් විතර දාගෙන, පෝනි ටේල් එකක් දාල, hair band එකකුත් දාගෙන තමයි ඉන්නෙ. එයා ඒ කාලෙ ‘නිළියෙක්’ වගේ කියල ප්‍රේමා ම අනන්තවත් අපිට කියල තියෙනව සහ ප්‍රේමගෙ මල කෝලං වලට අපි සහ අපි දන්න හැමෝම වගේ පණ යනකං හිනා වෙලත් තියෙනව. එයා බයිට් වෙනව කියල මෙලෝ හැඟීමක් නැති අසරණ ප්‍රේමා ඒ වෙලාවට බොහොම සංතෝසෙන් තව තව ඒවා කිය කිය හිනා වෙනව.

ප්‍රේමට හොඳට උයන්න පුළුවන්. ඒ පුළුවන් තරමටත් වඩා එයා උයන කෑම ඉස්තරම් කියල එයා හිතාගෙන හිටපු නිසා එයාගේ ගෑස් ටිකක් වැඩි. එයත් එක්ක වෙන කවුරුත් වැඩ කරන්න එනවට එයා කැමති නෑ. හරියට නිකං අපේ අම්මට එයාගෙ අනුදැනුමක් නැතිව පොල් සම්බෝලෙකට දෙහි දාන්නවත් තේරෙන්නෙ නෑ වගේ. දවසක් අපේ ගෙදර මොකක් හරි එහෙකට ටිකක් හොඳට උයන්න ඕනි වෙලා අම්ම කවුරුහරි cook අංකල් කෙනෙක්ට කතා කරල තිබුන. ආපු වෙලාවෙ ඉඳං අපේ ප්‍රේමා එයත් එක්ක attack! බලං ඉන්න අපිට නම් මාර ආතල්. එයා කරන කරන එකට අනිත් පැත්තට මොනා හරි කරපු ප්‍රේමා අන්තිමට අර මනුස්සයා හදපු කිසි දෙයක් කෑවෙ නෑ. නිකං plain tea එකක් බීල ‘අපෝ මට මේ ඇති!’ කියල නිකං හිටියා.

ප්‍රේමා ඒ කාලෙ හිටියෙ එයාගෙ ලොකු අයියගෙ ගේ ළඟ ඉඩමක පොඩියට හදා ගත්ත ගේ ක. ප්‍රේමගෙ මහත්තය නැතිවෙලා තියෙන්නෙ කොහොමද කියල එය අපිට කවදාවත් කියල නෑ, ඒත් එයාගෙ එකම පුතා හමුදාවට ගිහින් අන්තිමට ආවේ seal තියපු පෙට්ටියකලු. පුතා හමුදාවේ ඉන්නකොට එවපු හැම ලියුමකම උඩින් ලියල තිබුනෙ ‘මගේ රත්තරං අම්මට,’ කියල ලු. ඒ ගැන කියන හැම වෙලාවකම ප්‍රේම අඬනවා මට මතකයි. පුතාගේ නෝනා එහේ එන්න කියල කොච්චර කතා කලත් ප්‍රේම කවදාවත් එහේ නතර වෙන්න ගියේ නෑ. ‘එයාල ඔය කිව්වට වෙනස් වෙනව බබා’ කියල ඒ ගැන අහපු හැම වෙලාවකම එයා කිව්ව. එදා ඉඳං ප්‍රේම අර ගෙදර තනියම. ඒ තනිකම නිසාම වෙන්න ඇති ප්‍රේම කවුරුත් නැති වෙලාවට තනියම කතා කරනව. එයා ගස් වලට, මල් වලට ළමයි එක්ක කතා කරනව වගේ අසාවෙන් හිනා වෙවී කතා කරනව බලාගෙන ඉඳල අපි ඒ දවස් වල ඕන තරම් හිනා වෙලත් තියෙනව.

ප්‍රේම ඇර ගන්නත් උපන් හපන්. එයාට මතක ඇති කාලෙක ඉඳල එයාගෙ පක්ෂෙ අපි කියමු X කියල! ඉතිං එයාට නිකං වත් ඇහෙන්න කවුරු හරි වෙන පක්ෂෙක ගුණයක් හරි, මේ පක්ෂෙ නුගුණයක් හරි කිව්වොත් ඒ මනුස්සය ඉවරයි! ඔහොම කාලයක් යනකොට ප්‍රේමට එයාගෙ ලොකු අයියගෙන් සහ එයාගෙ පුතාල දෙන්නගෙන් සෑහෙන්න කරදර එන්න පටන් ගත්ත එයා ඉන්න ඉඩම විකුනන්න ගේ කඩාගෙන යන්න කියල. ඒ ගැන ප්‍රේම හැමදාම අඬ අඬ අපිට කිය කියා අර පවුලට සාප කළා ඒ කාලෙ. පුංචි මුවක් හැදිලා තිබුන ප්‍රේමගෙ කෙසෙල් ගස් දොළහක් කිසිම හේතුවක් නැතුව කපල දාපු දවසක ප්‍රේම අඬපු හැටි මට මතකයි.
ඒ ඔක්කොමත් අස්සේ ප්‍රේම හිටපු ගමන් අපි ගේන පත්තර වල ‘මංගල දැන්වීම්’ බලන්න පටන් ගත්ත. සමහර ඒවා පරිස්සමින් ඉරල තියාගත්ත. අපි හැමෝම වගේ ප්‍රේමට උපහාසෙන් කතා කළා ඒ ගැන, ඒත් කාත් කවුරුත් නැති ඒ මනුස්සය අර ඔක්කොම කරදර මැද්දෙ තමන්ගේ කියල කෙනෙක් නැතුව විඳින ‘තනිකම’ කොච්චරද කියල ඒ වයසට මට තේරුණේ නෑ.

ප්‍රේම අපේ ගෙදරින් අයින් වුන හේතුව මට ඇත්තටම මතක නෑ. එයාට ඊට වඩා හොඳ රස්සාවක් හම්බෙන්න ඇති. කොහොම හරි ඊට ටික කාලෙකට පස්සෙ ප්‍රේම අන්තිමට ගේ කඩාගෙන අර ඉඩමෙන් අයින් වුණා. ඊට දවස් ගානකට පස්සෙ එයාගෙ අයිය පපුවේ අමාරුවකින් අන්ත්‍රා වුණා. අන්තිම මොහොත වෙනකන්ම අයියගෙ මිනිය බලන්නවත් ප්‍රේම ගිහින් නෑ. ගේ කඩාගෙන අයින් වුනාට පස්සේ මොනා හරි දෙකට ලෑලි වගයක් ඕනි වෙලා ප්‍රේම ගිහින් තියෙනවා අර X පක්ෂේ ප්‍රේම හොඳට අඳුරන මන්ත්‍රී කෙනෙක් ගාවට. ඒ මැතිතුමා හිනා වෙලා කිව්වලු ‘අනේ ප්‍රේම ඉතින් මට ලී මෝලක් නෑ නෙ!’ කියල. අපේ ගෙදර ආපු වෙලාවක ඕක ගෙන කියල ඒ දවස් වල උන්ට කඩේ ගිය හැටි කිය කිය බැනපු හැටි මට මතකයි.

ඔහොම යනකොට... තවත් ටික කාලෙකින් ආරංචි වුණා අනේ අපේ ප්‍රේම ‘බැඳලා’ කියල! ඒ වයසට එහෙම දෙයක් ගැන අහන්න ලැබීමත් හිනා යන දෙයක් වුණත් ඒ මනුස්සය දැන් සතුටෙන් කරදරයක් නැතුව ඉන්න එක ගැන මට ඇත්තටම සතුටුයිප්‍රේමගෙ මහත්තය ‘බාස්සුන්නැහැ’ කෙනෙක්. (අර දැන්වීම් වලින් set වෙච්ච එකක් නෙවයි පොර ප්‍රේම පස්ස්ස්සෙන් ම අවිත් යාළු වුණා කියල තමයි කිව්වෙ හැබැයි.) 

කොහොමහරි.., දැන් ඒ දෙන්න වෙනම ගේක හොඳින් ඉන්නව. ඉඩක් ලැබුන වෙලාවක අපිව බලන්නත් ප්‍රේම එනව. ප්‍රේමට දැන් මහත්තයට කතා කරන්න මොබයිල් එහෙකුත් තියෙනව ලේන්සුවක ඔතල පරිස්සම් කරලා බෑග් එකේ තියාගෙන ඉන්න. ඒ දෙන්න හැම පෝයටම දෙවුරම් වෙහෙරෙ ගිහින් සිල් ගන්නව. දුක් වින්දොත් සැප විඳින්න ලබනවාමයි කියල ප්‍රේම හැමදාම කිව්ව. එයා මෝඩ වුණත් ජීවිතේට ශක්තිමත් ව මුණ දීපු ගෑනියෙක්. එයා ගැන ලියන්න හිතුනේ ඇයි කියන්න මම හරියටම දන්නෙ නෑ..සමහර විට ඒ ගිය සතියේ ප්‍රේම අපේ ගෙදර ආපු වෙලේ අපේ අක්ක බඳිනවා කියල අහපු ගමන් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් සුබ ආරංචිය කියන්න මහත්තයට එවෙලෙම කෝල් එකක් අරගෙන මහා හයියෙන් ‘මගෙ දෙයියෝ’ කියල කතා කරනව මට ඇහුන නිසා වෙන්නත් ඇති. ඇත්තටම ඒකත් පුදුම ආදරයක් කියල මට ඒ වෙලාවෙ හිතුන. ප්‍රේමගෙ චරිතෙත් කතා කරන්න වටින චරිතයක් කියල මට හිතෙන්න ඇත්තෙත් ඒ වෙලාවෙම තමයි.


Friday, February 10, 2012

ආදරය වනාහීඊඊ..... :D



මේ ලෝකෙ “ආදරය” කියල දෙයක් තියෙන බව අපි හැමෝම දන්නව.. ඒත් ඇත්තටම මොකද්ද මේ ආදරය කියන්නේ? මම ගෑනු ළමයෙක නිසා මේක ලියවෙන්නෙ පිරිමි ළමයි ගැන වුනත් මේකෙම අනිත් පැත්තත් ගොඩක් දුරට සාධාරණ ඇති කියලත් මම හිතනව. (මක් කරන්නත් කලින් මම බේරිල ඉන්ඩ එපැයි! නැද්ද? හික් හික්!)

මම දැකල තියෙන ගොඩක් කොල්ලො මේ ආදරය කියන එක ‘එක එක’ විදියට අර්ථ දක්වගත්ත අය. සමහරු ඉන්නවා ‘girlfriend’ කෙනෙක් නැත්තම් නිකං මොකද්ද වගේ කට්ටිය. එයාල සාමාන්‍යයෙන් අවුලක් නැති කෙල්ලෙක් දෙක්කොත් ටක් ගාල අහනව “අනේ මං ඔයාට හරී කැමතියි, ඔයා මට කැමතිද?” කියල. ටක් ගාල අහන එකේ පරමාර්ථය තමයි මේ ජාතියෙම තව කොල්ලෙක් අර ළමයගෙන් අහන්න කලින් තමං අහන එක. ඉතිං අර ළමය අවාසනාවට හරි “හා!” කිව්වොත් ඉතිං කරන්න දෙයක් නෑ. වැඩිම වුනොත් මාසයක් දෙකක් හොඳට ඉඳි. ඊට පස්සේ කොල්ලට කෙල්ල ‘වාතයක්’ වෙන්න ගන්නව. හරියට එකම සෙල්ලම කරද්දී bored වෙනව වගේ. ඊට පස්සේ වලි! මොකක් හරි පොඩි දෙයක් අල්ලං දෙන්න breakupවෙනව. ඊට පස්සේ ඉතිං දැන් girlfriend කෙනෙක් නැත්තම් නිකං මොකද්ද වගේ නෙ. ඒ නිසා කොල්ල මේ procedure එක දිගටම කරගෙන යනව.

එතකොට අපි හිතමු අර ළමය පෙර පිනකට “බ්වෑඈ..” කිව්වා කියල. එතකොට මේ ප්‍රධාන කොට්ටාසය අනු කොටස් දෙකකට බෙදෙනව. එක කට්ටියක් ඉන්නව “ආහ් ඉතිං මට පාං ද!” වගේ ටක් ගාල වෙන කෙල්ලෙක් ගෙන් අහන. ඒත් තව කට්ටියක් ඉන්නව එහෙම බැරි! ඇයි කෙල්ලෙක් බෑ කිව්ව කියන්නෙ තමන්ගෙ ආත්ම ගරුත්වයට හානියක් නෙ! (එයාලට අනුව) එතකොට නැට්ටටම මල පැනල අර අහිංසක ළමයට රටේම තියෙන ඒවා කියල බැන බැන යනව. . තවත් උග්‍ර තත්වෙන් ඉන්න කට්ටිය ඊටත් එහා දේවල් කරලා කාලකන්ණි සතුටක් ගන්නව. එතකොට තමන්ගෙ ආත්ම ගරුත්වය හැමෝටම පේනවා.

හරි! එතකොට තව කට්ටියක් ඉන්නව මේ විදියට bored වෙන එක නවත්තගන්න විවිධාකාරයේ girlfriends ල ගොඩක් එක පාර තියා ගෙන ඉන්න අය. සාමාන්‍ය ව්‍යවහාරයේ playersල. එයාලට ආදරය කියන්නෙ time passing. ඒක ඇති වෙලා නැති වෙන කිසිම විශේෂත්වයක් නැති දෙයක්. හැබැයි ගොඩක් වෙලාවට මෙහෙම කොල්ලන්ට set වෙන්නෙ මේ ජාතියෙම කෙල්ලො! ඒ නිසා ඒකෙ ලොකූ අවුලක් නෑ මම හිතන්නෙ! :P

තවත් ජාතියක් ඉන්නව මුලින් යාලුවෝ වගේ කෙල්ලන්ව ආශ්‍රය කරන. එහෙම ඉන්න ගමන් පොඩ්ඩක් side එකෙන් idea එකක් දාලා බලනවා මෙයා හරියනවද කියල. ඒ කියන්නෙ කෙල්ලට එයා තමන්ට ගොඩක් special කෙනෙක් කියල දැනෙන්න ඉඩ අරිනවා. හරියට හොයල බලනවා, ලස්සනට sweet විදියට කතා කරනවා, ඒත් ‘අහන්නෙ’ නෑ. (අර කියනකොට කියන්නෙ hopes දෙනවා කියල. අන්න ඒක!) ඉතිං මුලින් කෙල්ලත් හිතනවා “අනේ මෙයා හොඳ යාලුවෙක්!!” කියල. පස්සෙ පස්සෙ කෙල්ලටත් තියෙන්නෙ අසාමාන්‍ය නොවෙන හිතක් නම් එයාට හිතෙනව “මූ මට ඇත්තටම කැමතියි” කියල. ඉතිං එයා එහෙම හිතාගෙන වැඩ කරනවා “අද අහයි, හෙට අහයි!” කියල හිතාගෙන. දැන් මේ කොල්ලට මේ වගේ තව ගොඩාක් “ගෑනු යාලුවෝ” ඉන්නව. Multiple choice එකක් තියෙනව එයාට. 

ඔහොම ටිකක් කල් යනකොට අර කෙල්ලට මල පනිනව මූ අහන්නෙ නැති නිසා. ඒක කෙලින්ම අහන්න බැරි නිසා වෙන වෙන හේතුවක් නැති පොඩි දේවල් පිටින් ඒ තරහ දාල කෙල්ල කොල්ලව කන්න හදනව. “අම්බෝ.. මේක නම් වාතයක්!” කියල කොල්ලට හිතුන ගමන් එක්කෝ කොල්ල මොකුත් නූන ගානට ටික ටික contacts අඩු කරලා හරි, බැනලා හරි, අලි බොරුවක් කියල හරි ඔන්න shape වෙනව. බැරි වෙලාවත් අපි හිතමු අර කෙල්ල ඉන්නම බැරි තැන එයා අර කොල්ලට කැමතියි කිව්ව කියල. එතකොට කොල්ල ඇස් දෙක ලොකු කරලා අහනව “අනේ ඔයා කොහොමද මං ගැන එහෙම දෙයක් හිතුවෙවත්?!! මගෙ තුන් හිතකවත් ඔයා ගැන එහෙම අදහසක් නෑ!! අපි ඉතිං යාළුවොනේ..” කියල. මේකත් එක්තරා විදියක player type එකක් තමයි. එකම වෙනස කොල්ල “හොඳ ළමයා” label එකක් ගහන් ඉන්න එක.

එතකොට තව කට්ටියක් ඉන්නව, කෙල්ලෙක් දැක්ක ගමන් තමන්ට දැනෙන දේ තමයි ‘ආදරය’ කියල හිතාගෙන ඉන්න. ඒ වුනාට ඒක ඇත්තටම ආදරේ නෙවෙයි. මේකත් අර මුලින්ම කිව්ව ජාතියට පොඩ්ඩක් සමානයි. මෙයාලට girlfriend කෙනෙක් හිටියත් එකයි නැතත් එකයි. කෙල්ල හොඳයි කියලා හිතුනොත් අහනව, ඊට පස්සෙ එච්චරයි. එයාල කෙල්ලගෙන් හැම දේම බලාපොරොත්තු වෙනව in return කිසි දෙයක් නොකර. “ආදරෙයි, ආදරෙයි, ආදරෙයි...!!!” කියල විතරක් ම කියනව. ඒක ඉතිං ඕනි කෙනෙක්ට කියන්න පුළුවන් නෙ. වචන විතරයි, වෙන කිසි දෙයක් එයාලගෙ ආදරේ නෑ. ඔයාට එපා නම් මටත් එපා මානසිකත්වෙන් තමයි හැම වෙලේම ඉන්නෙ..
තව කට්ටිය ඉන්නව කිසිම හේතුවක් නැතුව හරියට දන්නෙවත් නැති කෙල්ලො පස්සෙන් ලෝකේ නැති බැනුම් අහගෙනත් “අනේ අනේ..” කිය කිය යන අය. ඒ කිව්වේ හේතු පැහැදිලි කරාට තේරුම් ගන්න හැකියාවක් නැති අය. තව ඉන්නව අත් හදා බලන්න කෙල්ලන්ගෙන් අහන අය. අදාළ හරි එකට කලින් rehearsal කරනව වගේ. ආදරේ කියන්නෙ ඇත්තටම මොකද්ද කියල හැඟීමක්වත් නැති අය.

ඉතිං.. මේ අතරේ ඉන්නව ආදරේ කියන්නෙ මොකද්ද කියල ඇත්තටම අඳුරගෙන කෙල්ලෙක්ට ආදරේ කරන, එයාව සතුටෙන් තියන්න මහන්සි වෙන කට්ටියත්. ඒත් එහෙම කට්ටිය සාපේක්ෂව ගොඩක් අඩුයි! ඒ එක්කම සහෝදරයො තරමටම හොඳ යාළුවො වගේම යාළුකම විතරක් හිතේ තියාගෙන ඉඳලා කෙල්ල විහින් වෙන දේවල් හිතා ගෙන අහිංසක කොල්ලව කන්න හදන අවස්ථාත් තියෙනව. නැතුව නෙවෙයි.

කොහොම හරි ආදරේ කියන්නෙ මොකද්ද කියල ගොඩක් අයට වැටහීමක් නෑ. ඒක බොහොම පැහැදිලි සත්‍යයක් නෙ. ඒ නිසා අනේ කොල්ලනේ, කෙල්ලෙක් ගෙන් අහල එක affair එකක් පටන් ගන්න කලින් ඒක ගෙන පොඩ්ඩක් බැලුවනම් හරි නේද? ඇයි අප්පා.. Affairs පනහක විතර කරලා එපා වෙන්නැද්ද!!??? හික් හික්...
ඔන්න මම ලියල ඉවරයි.. දැන් ඉතින් මට බනින්න එපා හොඳේ... :D