Monday, March 26, 2012

පොලිස් පාක්... එකායි!! :D :))


මේ එක post නම් මම ලියන්නෙ ඒක මතක් වෙන හැම වෙලේම මට හයියෙන් හිනා යන නිසා. :)) සමහර විට ඔයාලට හිනායන එකකුත්  නෑ, ඔන්න ඔහේ කමක් නෑ ඉතිං නෙහ්?.. hehe.. J

අපේ ඉස්කෝලෙන් out වෙච්ච අයට character, leaving ගන්න වගේ වැඩ වලට යන්න දෙන්නෙ සඳුදයි, සිකුරාදයි විතරයි. ඉතිං ඒ වගේ වැඩකට සඳුදා ඉස්කෝලෙ යන්න ලකයි මායි set වුණා. උදේ 8.30 ට විතර යමු කියල ලකා කිව්ව නිසා මමත් අපරාදේ කියන්න බෑ උදේ පා..න්දර 7ට alarm එකත් තියලයි නිදා ගත්තේ. ඔන්න සඳුදා උදේ මට alarm එක වදිනව ඇහෙනව දැන්.

“ආහ්! තවම හතයි නෙ, තව වෙලා තියෙනව!”

මම නින්දෙන්ම අත පත ගාල phone එක හොයාගෙන ලාවට ඇහැක් ඇරලා බැලුව alarm එක off කරන්න. එතකොටයි දැක්කෙ ඒක alarm එක නෙවෙයි, ලකාගෙන් call එකක් විත්තිය..

“මෙයා මොකෝ මේ වෙලාවෙ call කරන්නේ....?” කියල හිතන ගමන් මම නිකන් ජොලියට වගේ වෙලාව බැලුව.

වෙලාව 8.45 යි!!! :O

හාපොයී..මාව නැගිට්ටවන්න අම්මටත් අමතක වෙලා. ඇයි ඉතිං මම ලේසියකට එහෙම අවේලාවේ නැගිටින්නෙ නෑ නේ.. :D message එකක් එවල සෑහෙන වෙලාවක් reply නැති නිසා තමයි ලකා call කරල තියෙන්නෙ. කොහොම හරි “මම ටක් ගාල එන්නම්” කියල ලකාව shape කරලා මම එක හුස්මට ලෑස්ති වුණා.. වෙලා, යාන්තං පැයකට විතර පස්සෙ ඔන්‍න‍ bus halt එකට ගියා. ( ආ එහෙම තමයි, මම “ටක්” ගාන්න සෑහෙන්න වෙලා ගන්නව! මදෑ ඔය වෙලාවට ආවා! :P )

කොහොම කොහොම හරි ලකයි මායි දෙන්නම ඔන්න අදාළ බස් එකට නැග්ගා..

දැන්...ඕන්න බස් එක යනව. මම හිටියෙ බස් එකේ දොර ගාවම seat එක ළඟ හිටගෙන. ලකා මට එහා පැත්තේ හිටගෙන. ඔන්න දැන් කොන්දොස්තර මහත්මය ටිකට් කඩාගෙන කඩාගෙන එනව. එයා මට පිටිපස්සේ නතර වෙලා ලකාටයි  ඒ වටේ අනිත් අයටයි ටිකට් දුන්න. මම ලාවට වගේ දැක්ක එයා අර uniform shirt එක නෙවයි නිකන් සාමාන්‍ය T-shirt එකක් ඇඳලා හිටියෙ කියල.

Hehe.. ඔන්න ඊට පස්සෙ ඒ මනුස්සයා foot board එකට බැස්ස. ඉතිං කොන්දොස්තරගේ හිසේ සිට දෙපතුල දක්වා සාමාන්යෙන් අධීක්ෂණය කරන්නෙ නෑ නෙ ටිකට් ඉල්ලද්දි. මමත් ඉතිං ලාවට වගේ උගේ මූණ බලලා රුපියල් සීයක් දික් කරා. ඌ මගෙන් මොකක් හරි ඇහුව. කොන්දොස්තර ඉතිං වෙන මොනා අහන්නද සල්ලි දුන්නම. බහින තැන ඇරෙන්න?
මමත් ඉතිං “පොලිස් පාක්!” කියල කිව්ව. ඌ ටිකක් ඇස් ලොකු කරලා වගේ බලං හිටපු නිසා මම තව පොඩ්ඩක් හයියෙන් ඒකම කිව්වා, මොකද මම කියන එක පලවෙනි පාර කොන්දොස්තරලට ඇහෙන්නෙ නැති එක සෑහෙන්න සාමාන්‍ය සිද්ධියක්..

“පොලිස් පාක්!!”

ඒක නම් ඇහෙන්න ඇති. ඒ මනුස්සයගෙ කට පුරා හිනාවක් ගියා. එයා ඔලුවෙන් මට පිටිපස්සෙ පේලිය පෙන්නුවමයි දැක්කෙ කොන්දොස්තර මහත්මයා වගේ වගක් නැතිව තාම එතන ටිකට් කඩන බව.

අනේ අර මනුස්සයා ගඩුගුඩා වෙළෙන්දෙක්!!!! :))) heheheee.. LOL

ලකා හිතල තියෙන්නෙ මම ඒ මනුස්සයගෙන් ගඩුගුඩා ගන්න යනව කියල.. hehehe..  මට දිව හපාගෙන මැරෙන්න හිතුනා.. ඒත් ඊට කලින් මගේ වෙලාවට ඒ ,මනුස්සය එතනින් බැස්සා..

ඉතිං මම හිතාගත්ත  “හරි! අද දවසම නෑමේ පෙර ලකුණක් තමයි මේක” කියල. ඒත් ඔන්න බලන්න, ලකාගෙයි මගෙයි යාළු ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි දෙන්න ඉස්කෝලෙ ගිය වැඩේ විනාඩි විස්සකට අසන්න කාලයකදී කරගෙන හිස් seats ගොඩාක් තිබුන  බස් එකක අපහු ආව.

එකේ කොන්දොස්තර නම් uniform shirt එක ඇඳලා හිටියා. ඒත් මම ඌ ඇවිල්ල ඇනලා ටිකට් ඉල්ලන කම්ම ටිකට් ගත්තෙ නෑ.. hehehe :D





Thursday, March 22, 2012

තනි මලක් සහ මැස්සෙක්...


කවුළුවෙන් එපිට ඔහු
දුර බලා ඉන්නවා
වැටට එපිටින් නැගුනු
පුංචි අරලිය ගහක
එකම එක සුදු මලක්
මද පවනෙ වැනෙනවා
ඒත් එක සමනලෙක්
මැස්සෙකුත් රොන් උරන
එන්නෙවත් නැති හැඩයි
ඈ කොතෙක් හැඩ වුනත්...
“පවු” ඔහුට හිතෙනවා..
තනිව වේලෙන නිසා

කුස්සියෙන් මව ඔහුට
කන්ට අඬ ගහනවා
මවගෙ සුරතේ තිබූ
බත් පිඟානට යටින්
ලියුම් මිටියක් ඔහුට
ඇස් කොනින් පේනවා...
“ඈට ඇහුන නම් හෙම
මගේ හිත නිකන් හරි,
‘උඹත් වේලෙන වගක්
ඇයි උඹට අමතකද????’
දෙස් තියා කෑ ගහවි
ඈට සුපුරුදු ලෙසින්...”

“මල් වලින් මට මොටද?
ඔහේ වේලුනාවේ...”
සිතා ඔහු හුනස්නෙන්
නැගී පිට හැරෙනවා..
මිහිරි සුවඳක් දැනී
නැවත පසු බැලූ කල
හැඩැති තනි සුදු මලක්
වැනෙනවා පෙනෙනවා....


Sunday, March 18, 2012

රතු දියමන්තිය II - (නො)හැඳින්නෙමි...




කලක් ගත විය,
නිහඬවම, නිසලවම, තීරණාත්මක ලෙස......
නේක අපවාද ලත්තෙමි
‘ශ්‍රේෂ්ට’, මුග්ධ, ‘ධනවත්’ දුප්පතුන්ගෙන්;
‘ලෝකයා’ යැයි නම් පටබැඳගත්....
තර්ක කළහ ඔවුහු,
රතු දියමන්තියේ ප්‍රභාව සහ සුමට බව පිළිබඳව....
මනඃකල්පිත උපකල්පන කළහ,
එහි කඩතොළු හා සීරීම් ඇතැයි කියා.....
නොනවතින පහරදීම් එල්ල වීය,
එය අගුළු ලා වැසි කුටිරයට...
ඔසවාලන්නට එහි රැකවරණය පිණිස වූ අසිපත,
නොසෑහිණි මාගේ දුබල දෑත්......
ඉවසීමෙන් බලා උන්නෙමි
ඔබ ඒ ඔසවා කුටීරය රකිතැයි සිතා..
නමුත් ඔබ,
නිහඬ විය; නිසල විය
හැමදාමත් මෙන්......
දිනෙක,
ශක්තිමත් පැහැපත් දෑතක් විසින්
අසිපත එසැවිය.........
“ඔහු!”.....
රතු දියමන්තියේ ආරක්ෂාව පතා
ඔවුන් සමඟ සටන් වැදුණේය........
ඔහු මට අත දුන්නේය,
මා දුබලව පැකිලෙන්නට ගිය හැම විටෙකම
දිරිමත්ව යලි නැගී සිටින්නට.......
සටන නිමා වීය......
ඔවුහු පාපොච්චාරණය කරමින්
පසු බැස්සහ...; පලා ගියහ....
ජය ලත්තෙමි,
කිසිදා මා වෙසෙස් තැකීමක් නොකළ
“ඔහු” නිසා.......

කුටීරය පිළිසකර කරනා විට එක්ව
දැලි කුණු පිසලා,
සංග්‍රාමයේ සුන් බුන් ඉවතලමින්,
අනපේක්ෂිතව, එක එල්ලයේම
ඉල්ලන ලද්දේ වීය ඔහු විසින්
රතු දියමන්තිය මගෙන්......;
එහිම ආරක්ෂාව පතා
කුටීරය ඔහු භාරයට ගනු වස්............
නිරුත්තරව ගල් ගැසුණෙමි........
එය ඔබට දීමේ රිසියෙන් ම බලා සිටි නිසා.......
ඔබට කීවෙමි - ඔහු එය ඉල්ලූ වගක්,
ඔබ ප්‍රශ්නාර්ථයෙන් බලා සිටියේය;
නිහඬවම; නිසලවම...........
නමුත් සදාදර මිතුර,
ජන්ම දායාදයක් වූ බැවින්,
සරි කල යුතුය මවිසින්
රතු දියමන්තියේ රක්ෂාව....
කල්පනා ලොවේ නිමග්න වූ මගේ දෑස
හෝරා ගණනාවක් පුරාවට
ඔබ ම පසුකොට විත් නතර විය,
“ඔහු” අබියස..........
අසිපත සුරතින් ගෙන සටන් වදිමින් සිටි
“ඔහු” ඉදිරිපිට.............

සදාදර මිතුර,
ගත යුතුව ඇත තීරණයක්‌.....
ඔබට ප්‍රභාවක් නොපෙනුණු ඒ රතු දියමන්තිය,
ඒ අගුළු ලා වැසි කුටිරයද සමඟ ම
හෙට උදෑසන භාර කරමි ඔහුට,
ඒ විවර කළ හැකි යතුරු ද සමඟ.............
නමුත්........
එහි වෙනසක් හෝ අඩුවක්
ඔබට නොපෙනෙනු, නොදැනෙනු ඇත....
එහි ප්‍රභාව නුදුටුවකු සේ ඔබ,
සදා නිහඬවම, නිසලවම සිටි නිසාවෙන්..................


Sunday, March 11, 2012

මගේ සිනහවද ගෙන, සදා හිනැහෙනු සබඳ....


සහස් සුවහසක් පෙම්
පැතුම් මල් පොදි බැඳන්
රෑ දකින සෑම සුබ
සිහිනයක් පාසාම,
මම දැකපු, අත් විඳපු
ලබැඳි ඒ හසරැල්ල
හදවතට ලං වෙලා
සිනහවම දුන්නු හැටි....

දුක සැපේ අත බැඳන්
එක්ව පා පොඩි නැගූ
ප්‍රාණ සම ඔබේ සිත
මගේ සිත සේම වූ,
මා සේම නොදැනීම
කාටවත් නොකියාම
මා පැතූ ලබැඳි ඒ
සිනහවම පැතූ හැටි......

මට එපා, ඔබ ගන්න
ලබැඳි ඒ හසරැල්ල
තුරුළු කොට හදවතට
හැමදාම හිනැහෙන්න
සදා මා තනි නොකර
මාව සතුටින් තැබූ
සොඳුරු ඒ මිතුදම ම
විතරක් ම මට දෙන්න...........

විඩාපත් නෙතු අගින්
බැඳුනු දෑතක් දිහා
ආත්මය මොර දිදී
මද සිනා හෙලූ හැටි....
මගේ සිනහව මතින්
ඔබේ පිය නැගෙද්දී
මගේ වෙවුලන දෑත්
සුබ පතා වැනුණු හැටි......


Wednesday, March 7, 2012

කැත කවිය...


 මේක කැත කවියක්..
මේක කැත කවියක් නිසා
මගෙත් නැහැ උවමනාවක්; කැමැත්තක්
ලස්සන කරන්න ඒක.....
මුළු ලෝකෙම අඳුරුනං,
හිනාවක්, එළියක්‌, ආදරයක් නැතිව...
ඒත් ඔබ තවමත් හිනැහෙනවනම් පිටතින්...,
ලෝකය හිතනවනං
ඔබ සතුටින්, හොඳින් කියා
ඔබට පිස්සුද...? ලෝකයට පිස්සුද...??
මුළු ලෝකයම ගොළුයි නං,
කුරිරුයි, වේදනාකාරී, මූසලයි නං.....,
ඒත් ලෝකය කියනවනං
මූසලයි කියල ‘ඔබ’,
බාග වෙලාවට පිස්සු ‘ඔබට’ වෙන්න ඇති!!..
ලෝකය ගැන කලකිරිලනම් ඔබ,
හුස්ම හිරවෙනවනම් කළුවරේම,
හිනැහෙන්න අවැසිනම් ඔබට
හදවතින්ම අයෙමත් පෙර වගේ....
ඒත් මුළු ලෝකයම අඳුරුයි නං, ගොළුයි නං,
ඔබ කාගෙන්ද පාර අහන්නෙ...??
කාගෙන්ද එළිය ඉල්ලන්නෙ.....????..