Sunday, April 29, 2012

අක්කා යන්න යාවි ලූ.......... :') :')



ගොඩක් අය කියනව අපේ ලොකු අක්කයි මායි සෑහෙන් ම එක වගේ කියල. අපි කඩේකට ගියාම වුණත් ඒ මිනිස්සු අහනවා අපි නිවුන්නුද කියල. සමහරු එයා කියල මට රැවටෙනවා. ඒ වුනාට අපි දෙන්නට නම් එහෙම වෙන් කරලා අඳුර ගන්න බැරි සමානකමක් අපේ නැහැ. කොහොම හරි එයා මට වඩා අවුරුදු පහක්ම වැඩිමල්. සහ අපේ පවුලේ උසෙන් අඩුම එක්කෙනා එයා. අපේ පවුලේ පස් දෙනයි. අම්මයි, තාත්තයි, මා යි අක්කල දෙන්නයි. ඔව් ඔව්, කෙල්ලො තුන් දෙනෙක් තමයි! ඉතිං මොකෝ! :) :P

එක වගේ කිව්වට මොකද ඇත්තටම බැලුවොත් නම් ලොකු අක්කා මගේ සම්පුර්ණ ම අනිත් පැත්ත! චූටි අක්කයි මමයි සාමාන්යෙන් කලාවට ලැදි යි! අපි දෙන්නම ලියනවා, අඳිනවා, සිංදු කියනවා.. ඒත් ලොකු අක්කා එහෙම නෑ. එයා බලේන්න්න්න්ම වද දී ලා දී ලා නෙවෙයි නම් කවදාවත් මම ලියපු කිසි දෙයක් කියවන්නෙ නැහැ. ඒකත් එයාට ඇහෙන්න කියෙව්වොත් තමයි අහන් ඉන්නෙ. එයා කවදාවත් මගේ බ්ලොග් එක කියවල නැහැ. කොටින්ම සිහින සිත්තම පැත්ත පලාතක පස් පාගල නෑ. ඉතිං ඒ එයාගේ හැටි. එයා ඒවාට කැමති නැතුව ඇති. ඒ නිසා මම කාලෙක ඉඳං හිතාගෙන හිටියා මගේ බ්ලොග් එකේ එයා ගැන ලියන්නේ නැහැ කියල. Mmm.. ඒත් ඉතිං ඒක ඒ විදියට කරන්න බැරි වුනා අන්තිමට! :) කොහොම හරි බොහෝදුරට එයා මේ පොස්ට් එක දකින එකකුත් නෑ. ඒත් ඒකට ඉතිං කරන්න දෙයක් නෑ නොවැ නෙහ්!!

ඉතිං අපේ ලොකු අක්කා ඉතාම brainy පොරක්! අවංකවම මට එයාට තරම් මොලයක් නෑ. ශිෂ්‍යත්වේ පාස් වෙලා අපි දෙන්නම ගියේ එකම ඉස්කෝලෙට. ඒ කාලේ මම එයා හම්බෙන්න යනකොට එහෙම හැමෝම කියනව “අන්න ගයනිගේ නංගි” කියල! අක්කා කළේ Maths! එයා පොතේම ඇලී ගැලී ඉදන් එක්සෑම් හොඳට කරගත්තා. මිස්ලත් හැමෝම එයාට ආදරෙයි හරියට! මම කලිනුත් කිව්වනෙ මම එයා වගේ නෙවෙයි කියල. මම A/L කරන්න ගත්ත ගමන් ම පොතේ ඇලිලා මැරීගෙන පාඩම් කරන එක මට එපාම කරපු දෙයක් නිසා මම නමෝ විත්තියෙන් හොඳවයින් සංගමෙකට බැඳුනා. මගේ මෙව්ව එකටම අපිට හිටපු Physics මිස් තමයි අක්කටත් හිටපු Physics මිස්! ඒ මදිවට එයාගේ දුව අපේ අක්කගේ හොඳම යාළුවා;  ක්ලාස් මේට්! මේ මිස් හරි හොඳයි ඉතිං, ඒත් වැඩේ තියෙන්නේ බැලුවොත් ඇත්නං අක්කගේ ගුණ කිය කිය මගේ දොස් කියනව.

අපෝ සිතූ! අක්ක වගේ නම් නෙවෙයි.. ඔහොම කරලා කොහොමද exam කරගන්නේ! බලන්න අක්ක ඒ කාලේ කොච්චර හොඳට පන්තියේ වැඩ කළාද!!”

මම ඉතිං දත් මිටි කා ගෙන “හා!” කියල හිතාගෙන ඉන්නවා හොඳවයින් ඒවා මතක් කර කර. ඇයි හත්වලාමේ, මගේ වැරද්දක් තියේනම් ඒක කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. අක්ක මම වගේ නොවෙන විත්තිය ඉතිං මම දන්නවනෙ.. ඒක ඉතිං නිදි මන්තරේ වගේ දවස ගානේ ජප කරන්න ඕනි නෑ නෙ! අපේ A/L පන්තිය තමයි මගේ ඉස්කෝල කාලේ මට ලැබුණු හොඳම පන්තිය. ඒකෙ උන් ඉතිං දන්නව මිස් මට කතා කරලා පටන් ගන්නකොට හරි අක්ක ගැන තමයි කියල. ඒකට මට දුම් දමන විත්තියත් හැමෝම දන්නව. (මගේ auto graph එකක් කියෙව්වනම් විස්තර ඇතුව ඒවා බලා ගන්න පුළුවන්! :P)

ඒත් ඉතිං මෙහෙමයි, මම මිස්ට බය නෑ. ඒ කියන්නේ, එයා අර “පුතේ!” කිව්වත් වෙව්ලලා යන නපුරු මිස් කෙනෙක් නෙවෙයි. මම ඉතිං A/L පලවෙනි අවුරුද්දම වගේ පන්තියේ හිටියේ නෑ, ඒ කාලේ මොනාද ඉගැන්නුවේ කියල වත් අඩු තරමේ මට මතක නෑ. මම හැම වෙලේම හිටියේ අපේ day එක ප්ලෑන් කර කර මෙලෝ විකාරෙකින් නෙවෙයි.. ඉතිං මට බනින්න හැම සාධාරණ හේතුවක්ම මිස්ට තියෙනවා. මට උහුලන්න බැරි අපේ අක්ක ඒකට ඇඳගෙන කෑ ගහන එක නේ. (කොහොම හරි ඒ බාහිර වැඩ ඔක්කොමත් කරලා මම පලවෙනි පාර C තුනක් දා ගත්තා. “අපොයි ඔය හොඳටම හොඳයි හිටපු හැටියට, ඔයා කිසිම වැඩක් කළේ නෑ නෙ!” කියල අර මිසුත් කිව්වා. දැන් අක්ක සමහර වෙලාවට ඉස්කෝලෙට ආවම “ආහ් මේ සිතූ ගෙ අක්ක” කියල හැමෝම කිව්වා. දෙවෙනි පාර exam එකෙන් මට ආවේ අක්කගෙ results මයි. මම අර මිස්ට කට පුරා හිනාවෙලා කිව්වා “මිස් මට අක්කගෙ results මයි!” කියලා.. මිස් හිනාවෙලා නිකන් හිටිය! Heheee..)

ඉතිං මම කියන්න උත්සහ කළේ, මම අක්ක නෙවෙයි! මම අක්කට වඩා වෙනස්! B)

මායි අක්කල දෙන්නයි, අපි තුන් දෙනා ගොඩාක් සමීපයි. කොටින්ම වයස ගැප් එක අවුරුදු 5ක් වුනාට ෆිට් වෙලාවට ගොඩාක් ම ෆිට් මමයි ලොකු අක්කයි. ඒ වගේම වැඩිපුරම වලි දාගන්නෙත් අපි දෙන්න. එයාට ඉතාම නරක විදියට තරහ යනව, ඒත් සෝඩා බෝතලේ වගේ ඒ තරහ ඉක්මනට ම නිවෙනවා. අපි තුන්දෙනා තුන්දෙනාට කතා කරන්නේ ‘buddy’ කියල. ඇත්තටම අපි තුන්දෙනා එකට යනකොට කාට හරි තේරෙන්නෙ වුනත් යාලුවෝ තුන් දෙනෙක් යනව වගේ තමයි. අපේ ගෙදර තුන් දෙනාම ඉන්න වෙලාවට හරිම සද්දයි, අපි කරන කෝලං අපිම තමයි දන්නෙ ඉතිං.. hehe :P ඇත්තටම මේ වගේ පවුලක් ලබන්න ඇත්තටම අපි වාසනාවන්තයි. අපි කෙලින පිස්සු වලට අහල පහල මිනිස්සුත් හිනා වෙනවා. ලොකූ ම ලොකු බැඳීමක් මොන දේ වුණත් අපේ පවුල ඇතුලේ, අපි තුන් දෙනා ඇතුලේ තියෙනවා.

ලොකු අක්ක board වෙලා ඉන්න නිසා week ends වලට ගෙදර ආවම නිදා ගන්නෙ මාත් එක්ක. අපි දෙන්නා රෑට ඇඳට වෙලා ඔහේ වල් පල් කියෝ කියෝ පැය ගණන් හිටපු දවස් තියෙනව :) අපි තුන් දෙනාම එක එක වෙලාවට බබාල වගේ කතා කරනව. :P :P ආහ්, අපෙ අම්මත් එහෙම තමයි! අම්මගෙන් තමයි කෝලං කිරීමේ ජානය අපිට ඇවිත් තියෙන්නෙ. Hehe :P හැම වෙලාවෙම නැතත් අපෙ තාත්තත් වෙලාවකට කරන කියන ඒවට පණ යනකන් හිනා වෙතෑකි :D විශේෂයෙන්ම කියන්න ඕනි අපි තුන්දෙනාගෙ  මාර මාර nick names ගොඩක් තියෙන්නේ..ඒ වගේ නම් කොහොම කටට එනවද කියලවත් අපි දන්නෙ නෑ. ඒත් ඒවා හරිම හුරතල්.  ඒ හැමදේකම ගරු නම්බු නාම වල නැති ලොකූ බැඳීමක්, ලෙංගතු කමක් තියෙනවා. අක්ක, නංගි කියල අපි ඉතාම කලාතුරකින් තමයි කතා වෙන්නෙ. එහෙම කතා වුනොත් එහෙම බැරිවෙලාවත් එය කලන්තේ දාල වැටෙනව “අම්බෝ මෙන්න මෙයා මට නංගි කිව්ව !” කියල.. :P hehe..

අම්ම ලොකු අක්කට ගොඩාක් ආදරෙයි. (හා! එයා අපිටත් ආදරෙයි.. එහෙම නෙවෙයි අප්පා!!!) ලොකු අක්ක කියන හැම දේම ඒ පිළිවෙලටම කරන්න අම්ම උපරිම උත්සහයක් ගන්නවා හැම වෙලේම. අම්මල ඉතිං වැඩිමල්ම ළමයට තමයි කොහොමත් ආදරේ වැඩි කියල කියනවනේ. අක්ක මොනවා කිව්වත් එයා කිව්වෙ මොනවද, අම්ම ඒක ලෙසටම කරලා ඇති! අපි ඉතිං වෙලාවකට අම්මට ඒවා මේවා කියනව, (සිරාවට නෙවෙයි) ඒත් ඉතින් එකට මොකුත් කියන්න බැහැ නේද. අම්ම කෙනෙක් ගෙ ආදරේ නෙ. :)

ලොකු අක්ක ඉතාම සංවේදි.. ඉතාම කියන්නේ, සංවේදි වැඩි! මොකක් හරි වුනාම එයා නවතින්නේ වෙලා ඇතයි කියල හිතන්න පුළුවන් ඉතාම නරක දේ හිතල. දවසක් අපි පන්සල් හරි කොහේ හරි ගියා, කාර් එක ගත්ත අලුත. ඒ දවස් වල ලොකු අක්ක A/L කරනව, එයා board වෙලා හිටියේ. ඉතිං අපි යනව කියල ගිහින් මොනව හරි ඉතාම සරල හේතුවකට ටිකක් පරක්කු වුණා. ගෙදර ඇවිත් ආවා කියන්න මෙයාට කෝල් කරනකොට මෙන්න බොලේ මෙයා හෝ ගාල දමාගෙන අඬනවා!!! ටික ටික පරක්කු වෙනකොට මෙයා පනස් පාරක් විතර ගෙදෙට්ට කෝල් කරලා. ඒ දවස්වල අපි ඉතිං පොඩි නෙ. mobiles එහෙම තිබුනේ නෑ. මෙයා ඊට පස්සේ හිතාගෙන කාර් එක accident වෙලා, අපි කට්ටියම හොස්පිටල් ගෙනිහින් ඇති. අහන්නවත් කෙනෙක් නෑ, මම දැන්ම ගෙදර යනව, අනේ ගෙදර කවුරුත් නැති වුනොත් මම ඉන්නෙ කොහොමද යනාදී විදියට එකී මෙකි නොකී ඔක්කොම උපකල්පන කරගෙන අඬලා, වැලපිලා තව ඩින්ගෙන් මූ ඔක්කොම දමල ගහලා ගෙදර එනවා. හපොයීඊඊ!!!! :O :P අන්න ඒ වගේ. එයා මල පැන්න වෙලාවට කොටි පාට් දැම්මට අපි හැමෝම දන්නව ඉතිං එයා අපි හැමෝටම අසීමිතව ආදරෙයි කියල, එයාගෙම විදියකට. :)

ඉතිං මං මේ හිටි ගමන් අපේ අක්කා ගැන ලියන්න ගත්තෙ එක්තරා ලොකු හේතුවකට. අක්කා අපේ පවුලේ කෙනෙක් වෙලා දැන් අවුරුදු විසි හයක් විතර ඇති. එත් තව ටික දවසකින් එයාගෙ සරණ මංගල්‍යය වෙන්නයි යන්නේ. කොච්චර නැහැයි කියල හිතාගෙන හිටියත් මගේ අක්ක බඳින දවස ගැන දෙයක් ලියන්නෙ නැතුව ඉන්නෙ කොහොමද මං! අපි කොච්චර වලි දා ගත්තත්, මරා ගත්තත් තව දවස් කීපෙකින් එයා වෙනම කෙනෙක් වෙලා අපේ පවුලෙන් ඈත් වෙනවා කියල කල්පනා වෙනකොටත් මටම තේරෙන්නැති මොකද්දෝ හේතුවකට මගේ ඇස් වලට කඳුළු පිරෙනවා. ඒත් ඉතිං ඒකට කියල කරන්න දෙයක් නෑ නෙ නේද! එයා බැන්දා ය කියල අපේ සහෝදරකම නැති වෙන්නෙ වත්, එයාට අපේ ගෙදර එන්න බැරි වෙන්නෙවත් නෑ නෙ. අනේ මන්දා, ඒත් මට හිතෙනවා එදාටත් මම හොඳටම අඬයි කියල. එහෙම නොවෙනවානම් හොඳයි. අක්කගෙ ජිවිතේ අලුතෙන් පටන් ගන්න වෙලාවක මම අඬන්නේ මොකටද! නේද!

ඉතිං එයාගේ හැම පුංචි බලාපොරොත්තුවක්ම ඒ විදියට ම ඉෂ්ට වෙලා, එයාට අපේ පිස්සු අයියත් එක්ක ගොඩාක් ම සතුටෙන් එයාලගේ අලුත් ජිවිතේ ගත කරන්න ලැබෙන්න කියල මම මගේ හදවතින්ම ප්‍රර්ථනා කරනව. (මූ ගැනත් වචනයක් හරි කිව්වෙ නැත්තම්, බැරි වෙලාවත් මූ මේක කියෙව්වොත් “කෝ මං??” කියල අහනවා! එකයි! :P ) ඉතිං අක්ක පතන හැම සතුටක් ම එයාට ලැබෙන්න ඕනි. ඒක තමයි එයාගේ චූටි නංගි එයා වෙනුවෙන් කරන ලොකුම ප්‍රාර්ථනාව! :)

ඒ කතන්දරේ හිරු කුමාරයා
වාගේ කවුරු හෝ එයි අපේ දිහා
රාජ තේජසින් අස්පයා පිටින්
අවොතින් එයා මං හඬාවි ලූ,
පුංචි නංගියා - හඬවලා අනේ
ඒ කුමාරයා එක්කලා ඉතිං
අක්කා යන්න යාවි ලූ..........

(ප: ලි: අපේ අයියා කාරයාගේ ඇති තෙජසක්‌ නම් නෑ.. ඌත් අපි වගේම වචනේ පරිසමාප්ත අර්ථයෙන් ම පීස්සෙක්! වරදවා වටහා ගන්න එපා හරිය!.. lol)


16 comments:

සිතූගේ අක්කටත් එහෙනං සුබම සුබ මංගලම්!!!
 
hehe..බොහෝම ස්තූතියි෴.. :D :D
 
ඔන්න එහෙනම් සිතූගෙ අක්කට සතුටින් ආදරයෙන් වාසනාවෙන් පිරී ඉතිරී යන විවාහ දිවියකට මමත් සුභ ප්‍රාර්ථනා කරනව.
(නංගිල දෙන්නවද අක්ක යහළු මනමාලියන්ට ගන්නව කිව්වෙ? P)
 
ඔයා පෝස්ට් ලියන ස්ටයිල් එක මරු අලේ.. හිනාත් ගියා සමහර තැන්වලදි.

මං ඉතින් එකා යකානෙ. තාත්තයි මායි තමයි ඉතින් පිස්සු වැඩ කරන්නෙ.තාත්ත මට දාල තියෙන නික් නේම්ස් ඔක්කොම මට මතක් වුණා මේක කියවන කොට.

අක්කිට වාසනාවන්ත විවාහ ජීවිතයකට සුබ පැතුවා කියන්න.
සිතූ අක්කිගෙනුත් ළගදීම එහෙම ආරංචියක් අහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව.
 
හැම පොස්‍ටුවකම කොතන හරි හිනා වෙන්න පුලුවන් තැනක් හොයලා කොමෙන්‍ටුවක් දාන්නේ මම හැමදේම විහිලුවට ගන්න හින්දම නෙමෙයි.මේ කාන්තාරෙ තනිවෙලා ඉන්න අපට හිනාවෙන්න තියන අවස්ථා හුගක් අඩු නිසා.ඒත් ඔයාගේ මේ පෝස්‍ටුවට එහෙම කරන්න මට හිතෙන්නේ නෑ.මොකද,ඔයා හිනා වෙවී ලීවත් පෝස්‍ටුව පුරාම තියෙන්නේ කියලා නිම කරන්න බැරි සහෝදර කමක් නිසා.
 
දැක්කයින් දැක්කේ නෑ මෙහෙම හැඳින්වීමක්. ඔයාගේ පව්ලේ සමගිය සමදානේ හැමදාම ඒ විදිහටම තියෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා. ඔට්ටුයි අක්ක බඳින දවසට ඔයා බිම පෙරලීගෙන අඬනවා.
 
@ ~HèáléR~ - හී.. බොහෝම ස්තුතීයි!! :D :D ආ නැතුව නැතුව.. hehe.. ඇයි අප්පා, අපි වගේ සෝක් නංගිලා දෙන්නෙක් ඉන්නකොට වෙන කාව වත් ගනී යැ!!! lol.. :P :P
 
@වර්ෂා - ගොඩාක් ස්තුතීයි අලේ.. :D :D

ආනේ එහෙමද? :) කොහොමත් මම දන්න එකා යකාලත් ගොඩක් තාත්තල එක්ක තමයි වැඩිපුර එකතු! :P ඒ හැටි වෙන්නැති නේද? :) hehe

අම්බෝ, අපේ නික් නේම්ස් ටික මේකෙ දැම්ම නම් එහෙම ඔයා ඔහොම නෙවෙයි හිනා වෙල්ලේ.. :P මේ මේ මේහ්හ්... ඒ නොකියා කිව්වෙ මටත් ඉක්කන්ට බැඳපිය කියල නේද???? :O ආ එව්වනම් කොහෙද මාත් එක්ක.. ඔයාට අක්කි වුනාට මම තාම සූටි ළමයෙක් නෙ අලේ...hehehe ^_^
 
@Sarath Chandrasiri - හ්ම්ම්.. තේරෙන්නෑ හරියටම මොනා කියන්නද කියලා.. :) ඔයාට ගොඩක් ස්තුතීයි.. ඔව්.. මට තේරෙන විදියටත් හැමදාම අනේ පනේ කියාගෙන, ඉතාම පරෙස්සමෙන්, ගෞරව සම්ප්‍රයුක්තව කතා කරගෙන ඉන්න සහෝදරකමකට වඩා ලොකු හයියක් වෙලාවකට මරා ගන්න, යාළුවො වගේ කතා කරන සහෝදරකමක තියෙනවා.. හිනා වෙන්න පුළුවන් හැම වෙලේම හිනා වෙන එක හරි! මමත් ගොඩක් වෙලාවට ඒ වගේ තමයි! :) :)
 
@පැතුම් [සිතුම් පැතුම්] - hehe..එහෙම තමයි අපි! :P ඔයාටත් ගොඩාක් ස්තුතීයි හොඳේ.. :) :)
හපෝයී... මොනාද අලේ එහෙම ඔට්ටු අල්ලන්නෙ!! :( මම මේ අඬන්නේ නැති වේවා කියල හිතාගෙන ඉන්නෝ.. මෙයා තව ඔට්ටුත් අල්ලන්න එනෝ.. :( :'(
 
1st wedding eka neda oyage pule. I knw the feeling.suba ma suba mangalmum sithu ge akkata. ewage ma paule samagiya hamadama thiyenna kiyala prarthana karanawa.
 
@ BoxMan - :) ඔව්ව්.. 1st wedding එක නෙ.. හ්ම්ම්... බොහෝම ස්තුතියි ඔයාටත් හොඳේ.. :) :)
 
hadavathata danena post 1k sithu.oyata mathakaine oya akkiva wedding 1 davase surprise karanna hadapu de baluvama mama kiyapu deval.adath mata kiyanna thiyenne a tikamai.vena vachana danne ne mama oyala 3 denage sahodara badeemata prashansha karanna.akkatai ayyatai suba mangalam!hamadama eyalage jeeitha vala sathuta ithirenna kiyala prarthana karanava
 
අපොයි දෙයියනේ මේකෙ මුල් ටික කියවද්දි මාට හීන් දාඩිය දැන්ම.. ඇයි අනේ මටත් ඉන්නවනෙ අක්කලා දෙන්නෙක්..
…මටත් ඉස්කෝලෙ යන කාලෙ තිබුන ලොකුම අවුල තමා මොන කරත් අන්තිමට අක්කලගෙ නම් වලින් තම උප්දෙස් ටික ඉවර වෙන්නෙ.. හැබැයි ඉතින් ඔයාගෙ අක්කලාට වඩා අපේ අතර වයස පරතරය වැඩි නිසාද මංදා එයලා නම් එහෙමට මා එක්ක එකතු නෑ.
 
@ lucky - thank uuuu buddy!! :) :) :* එදා ආවටත් ගොඩාක් ස්තුතියි...
 
@නිදහසේ නවාතැන - hehe.. අප්පා එහෙමද!! :O කියල නම් වැඩක් නෑ තමයි.. මටත් අපේ අක්ක සහ එව්වා කියන කෙනා ගැන පුදුමාකාර ආදරයක් පහල වෙන්නෙ ඒ වෙලාවට.. :P :P ස්තුතියි මේ පැත්තෙ ආවට හොඳේ! :)
 

Post a Comment