Sunday, January 29, 2012

මගේ අම්මට....; ගොඩාක් ආදරෙන්..


අම්මා කියන්නෙ හරි පුදුමාකාර වචනයක්. ඒ පුංචි අකුරු තුනේ ගැබ් වෙලා තියෙන ශක්තිය, ආදවගේම අවබෝධය මෙච්චරයි කියල තවත් අකුරු ගොඩකින් කියල ඉවර කරන්න කවදාවත් පුලවන් කමක් නැහැඅවුරුදු විස්සකුත් මාස කීපෙකට කලින් මේ ලෝකෙ ලස්සන විඳින්න මට ඉඩ සලස්සපු මගේ අම්මා ඊට ගොඩක් කාලෙකට කලින් ඒ ලෝකෙ දැකපු වාසනාවන්ත දවස අද..
අම්මට සුබ පතල post එකක් දාන්න උවමනා වුණත් කවියක් විදියට නොදා මේ විදියට ලියන්නෙ මේක සාමාන්‍ය post එකක් විදියට පේන්න මට ඕනි නැති නිසත්, හෑලි ලියන එක මට කවි ගොතනවට වඩා හුරු වගේම නිදහස් දේකුත් නිසා..

මේ අවුරුදු විස්සටම මං වෙනුවෙන් කවුරු හරි කෙනෙක් වැඩිපුරම අඬල තියෙනවනං, දුක් වෙලා තියෙනවනං, වද වෙලා තියෙනවනං ඒ වෙන කවුරුත් ම නෙවෙයි; මගේ අම්මා!
මේ ලෝකෙන්ම මාව වැඩිපුරම තේරුම් ගත්ත සහ මට වැඩිපුරම ආදරේ කරන එකම කෙනත් මගේ අම්මා!
මොන දේ සිද්ධ වුණත් මගේ ජිවිතේ මං වැඩිපුරම ගරු කරන සහ වැඩිපුරම ආදරේ කරන කෙනත් මගේ අම්මා!

මං වෙලාවකට කෑ ගහනව; රණ්ඩු වෙලා තරහ වෙලා ඉන්නව; එකට එක කියනව; එත් මං කවදාවත් අම්මට නොකියා ජිවිතේ කිසිම දෙයක් කරන්නෙ නෑ. තමන්ගෙ අම්මගෙ වටිනාකම ගොඩාක් හොඳින් අත්දැකීම් වලින් අවබෝධ කරගත්ත කෙනෙක් මම. මං ඇඬුවොත්, දුකෙන් හිටියොත්; මගේ පැත්තෙන් මම කොයි තරම් අසාධාරණ වුණත් අම්ම මාව සතුටෙන් තියන්න කරන්න පුළුවන් හැම දේම කරපු සහ කරන බව මම දන්නව. අම්ම මාව කවදාවත් සැක කරලවත්; අනවශ්‍ය නීති දාල බැඳල තියාගන්නවත් හදල නෑ. මං එයාට ගරු කරන්නෙත්, ඒ විශ්වසේ රකින්නෙත් ඒ නිසා...

මං හැමවෙලේම මේක කියන්නෙ නැතිව ඇති.. එත් මං අම්මට ගොඩාක්...ගොඩාක් ආදරෙයි අම්මේ...!!
මං කොච්චර පිස්සු නැතුවත්, කොච්චර මුරණ්ඩු වුණත්, ඒ බව අම්ම දන්නව කියල මම දන්නව.. මුළු ලෝකෙන්ම මාව වැඩිපුරම සහ ඇත්තටම තේරෙන්නෙ අම්මට විතරයි.. එකයි මං අම්මට ආදරේ!!
මේ මුළු සංසාර ගමන පුරාවටම අපි කරපු හැම පිනකම බලෙන් අම්මා දවසක නිවන් දකීවි.. ඒ දවස වෙනකන්, මම  උපදින හැම මතු භවයකදිම  මම වෙන අම්ම කෙනෙක් නං කවදාවත් ප්‍රර්ථනා කරන්නෙ නෑ...

ජිවිතේ කොච්චර පහලට මම වැටුනත්, මොන අන්ධකාරේක අතරමං වෙලා හිටියත්, ළඟ හිටපු හැමෝම මාව ඇත ඇරලා දාල ගියත්, අම්මා හැමදාමත් වගේ මගේ අතින් අල්ලගෙන මට පාර පෙන්නන බව මං දන්නව... ඒ නිසා මං දැන් ජීවිතේට බය නැහැ!!
අම්මා කියන වචනෙ උත්තරීතර බව මට කියල දුන්නෙ අම්ම! අම්ම මං වෙනුවෙන් විඳපු, විඳින කරදර වලට මම කවද, කොහොම, කී පාරක් සමාව ගත්තත් මදි වග මං දන්නව අම්මේ! මේක කීයටවත් ඒ බීපු කිරේ ණය අරවන්න හදන උත්සාහයක් කියල හිතන්න එපා! අම්මට නොපෙන්නුවත්, මේක මේ පාර මං හදවතින්ම අම්මට දෙන උපන්දින තෑග්ග... අම්ම මට දීපු ඒ ආදරේට, අවබෝධයට, යාළුකමට, ඉවසීමට....හැමදේකටම අම්මට ගොඩාක්... ගොඩාක් පින්!!

අම්මගෙ හිතේ තියෙන හැම ලොකු- පුංචි බලාපොරොත්තුවක් ම ඒ විදියටම ඉෂ්ට වෙන්න ඕනි අම්මේ! මගේ බුදු හාමුදුරුවො අම්මට හැමදාම ආශීර්වාද කරන්න ඕනි.. අම්ම ජිවිතේ හැමදාම සතුටින්, නිදුක් නිරෝගීව, හිනා වෙලා ඉන්න ඕනි.. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනව අම්මේ!!
මොකද ලෝකෙ හැමෝටම වඩා මට වටින්නෙ සහ ළඟ, මගේ අම්මා ‘විතරක් ම’ නිසා...

සුබ උපන් දිනයක් අම්මේ!! අම්ම ‘මගේ’ අම්ම වෙන්න මං කොච්චර වාසනාවන්ත වෙන්න ඕනි ද කියල මට ම තාම හිතා ගන්න බෑ...
“සියක් ආයු ලැබ - මගෙත් ආයු  ගෙන
මටත් වඩා කල්, ඔබ ජිවත් වේවා!!!...
මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ලඳ,
විශාඛාව වේවා!!!.....”




Sunday, January 22, 2012

රතු දියමන්තිය...




කුඩා කල පටන්
ජන්ම දයාදයෙන් ලත්තෙමි
‘රතු දියමන්තියක්’.....
සියක් කැටයමෙන් ඔපලූ
දාසක් මල්කමෙන් සැරසූ,
සියුම් උණුහුම් බිතුයෙන් සැදි,
මිලක් දිය නොහැකි
අසම වූත්; අසම සම වූත්,
‘රතු දියමන්තියක්!’.........
දත් නොදත් සියල්ලෝම
එහි පැහැයට, දීප්තියට,
සුමට බවට හා උණුහුමට
ලොබ කළහ....
විවිධ මිලයන්ට ඒ වෙනුවෙන්
රැස් කමින් බැගෑපත් වූහ....
නමුත්........
කිසිදා එහි ප්‍රභාව නුදුටුවකු මෙන්
නිසලවම; නිහඬවම සිටි
ඔබ වෙනුවෙන්
එය සුරැකිව තබා ගතිමි
අගුලු ලා වැසි කුටිරයක....,
නැසූ කන්ව ඒ සියල්ල.........
අද....,
කාලයක් ගෙවී ගොස් ඇති මුත්
රතු දියමන්තියේ දිස්නය
එලෙසම ය...........
සහස් සුවහස් දෙනා
ඒ කෙරේ ලොබ බැඳ
අයදිමින් ලුහු බඳිති.........
එහෙත් තවමත් එය සුරැකිය,
අගුලු ලා වැසි කුටීරයක.......
එහි අවැසියාව දැනෙන තුරු ඔබට
බලා හිඳිමි...,
නොමිලයේම ඒ ඔබට දීමේ රිසියෙන්
ඔබ මගේ ප්‍රාණ සමාන
අතිජාත මිතුරා වූ නිසා............
නමුත් ඔබ......
එහි ප්‍රභාව නුදුටුවකු මෙන්
නිහඬය; නිසලය
තවමත්...............




Sunday, January 15, 2012

වනමි ද කෙලෙස දළ රළ වරුණ.....!

වනමි ද කෙලෙස දළ රළ වරුණ.....!


සිඳු....
ජීවයෙන් හා කෙළිදෙලෙන් පිරී ඇත...,
කලකට ඉහත
මා ද පසු වූ පරිද්දෙන්............
නමුත් අද....,
වේදනා වළලු මගේ හද ඉවුරේ හැපී
ලය පලන්නට තැත් දරන්නාක් මෙන්
දළ රළ වැල්ල අරක් ගන්ට
වෙර වීරිය යොදනු පෙනේ......
මගේ දිවියේ පැතුම් පොදි ලෙස
පිඬු ගැසී ඈතින් නැගෙන රළ
දෙපා අබියස බිඳී,
සුණු විසුණු වී යන හැටි...............
සිඳු කුරිරු ය......
එනමුදු නොහැක කිසිවෙකුටත්
සතුරු හෝ අමනාප වීමට ඈ හා,
විජ්ජා බලයෙන් ඈ සියල්ලන් ම
තමා නතු කර ගන්නා බැවින්.....
ඒ ඇස් බැඳුමට මම ද හසුවී සිටිමි.....
නමුත් වනන්නට නොහැක මට පෙර සේ
කුරිරු බව වසා ගත් වෙස් මුහුණක් වූ
ඔබේ කෙළිලොල් දඟකාරකම,
මට සදා සරදමක් වූ.........


Monday, January 9, 2012

සෙනෙහස....

සෙනෙහස....


පැතුයෙමි සෙනෙහස,
අම්මාගෙන් බාල කල පටන්
ඇගේ අතැඟිල්ලේ එල්ලී දැවටෙන්නට,
දෙන්නට පුංචි හාද්දක්,
ඇගේ සුවඳේ ගිලී,
“මං අම්මට ගොඩාක් ආදරෙයි!!”
අනේ එය කෙසේ නම්
කිනම් දා දැන ගනීවිද ඈ..,
නිවන් මං කරා පිය මැනූ නිසායෙන්
සත් මස ඉක්මවූ තැන................

පැතුයෙමි සෙනෙහස,
කාර්යබහුල වූ පියා ගෙන්,
“තාත්තෙ,”
අවැසි වූ හැම විටෙකම ඔහු
ලද්දේ එකම පිළිතුර විය,
“තමුසෙ දැන් ලොකු මිනිහෙක් නෙ,
ඕක තනියම කරගන්න පුළුවං.....”

සෙනෙහස සිඟා ගියෙමි,
එක කුස උපන් අයියා වෙතට,
ඔහුට හැකි වනු නිසැකය
තේරුම් ගැනීමට මා,
නමුත්,
“ඕයි පොඩි,
දෙනවකො රුපියල් සීයක්,
අතේ තියෙනවනං...”
එය එපමණම විය හැමදාමත්..............


අසරණව සෙනෙහස පැතුයෙමි,
සිප්හළේ ගුරුතුමාගෙන්,
“කවද්ද ඕයි තමුසෙ හැදෙන්නෙ???
නගිනව බංකුව උඩට!!.”
කියන්නට හෝ අසන්නට ගිය
සියල්ලක් අමතක විය!......

 “වැඩක් නෑ!!!”
යැදීමෙන්, අයදිමෙන් දිනෙක
හෙම්බත්ව නැවතුනෙමි......
“මේ මොන මගුලක්ද!!!”
මොර ගෑය විඩාපත් මගේ හදවත,
“අපට උවමනා නැහැ
ඔය කියන සෙනෙහස!!”
සපථ කරගතිමි මම මට ම.............


එතැන් පටන් දරදඬු ඇට්ටරයෙකු වූ මම,
වදනේ මුළු අරුතෙන්ම,
ඔබ අද මගෙන් පතනා සෙනෙහස
කෙසේ නම්, කොයින් නම් දෙම් දෝ යි
සිතමින් ලතැවෙන්නෙමි..........
සෙනෙහස පැතීමේ ලා,
සදාකාලික පරාජිතයෙකු වූ මම,
කෙසේ නම් ඔබට වටහා දෙන්නද,
දිවි හිමියෙන් ඔබ පතනා සෙනෙහස
යළි පැතීමට මා බිය බව........
හිස්ව ඇති බව මගේ ආත්මය
ඔවුන් එදා සිට කියූ ඒ ‘සෙනෙහසින්!’
“ගිනි පෙල්ලෙන් බැට කෑ එකා
කණාමැදිරියටත් බයලු!”
කෙසේ සනසම්ද මා නුඹ,
සැබෑ සෙනෙහස නම් මේ නොවේ මැයි කියා..,
එහි අරුතක් මා හෝ
නොදන්නා කල.........???


Thursday, January 5, 2012

වැත්තක් වයිනෝ...

වැත්තක් වයිනෝ...


“වැත්ත වයිනවා - මිඩුලෙ වතුල පිලෙනවා...”
හඬ තලයි එහා ගෙදර පොඩි එකා
කණ ගාව හිඳ...
ෂික්!!!!!
මේ මල ජරා වැස්ස නිසා
ඌට ගිය ආතල් එකක්!!
ලැපේ බැට්‍රිත් ෂුවර් නැතුව
කොහොමද යන්නෙ net වත්!
හොඳයි ගියා මයි කියමුකො!
සිග්නල් දෙන්නෙ බාප්පද එතකොට??!!!
(දැන් ඉතිං tooth paste ද අහල මගේ වැදගත් mood එක අවුල් කරන්න එපා.. හරිය????)
“බීප් බීප්!” කෙල්ල message එකක් එවල!
කමක් නෑ... පැමිණි දුක් පැණි රසයි!
මලක් කඩා ගන්න ආව ඇඳට..


Battery low!” හරි මාරයි!!!!
හුටා!! ගියා ලයිට්!!! කාල වරෙන්කො!
පැණි රසක් කොහෙද ඕයි! තිත්තයි; අජූතයි!!
එනව කෝල් එකක්!
“හෙලෝ?”
“හෙ..ඇ..ස්ස්..බ..ස්ස් ම...ස්ස්..ස්ස්..”
“ආ.. ඔව්! ඒක තමයි!! හා!!”
හරි! off වුනා ෆෝන් එක!
දැන් ඉතිං මතක් වෙනව වි.බ.ම. යේ සදාදරනීයයන්,
සෙත් කවි ගලාගෙන එනව හිතට; වැල නොකැඩී...
ලෑන්ඩ් ෆෝන් එක??
පට්ටාස්!!! ගැහුවා අකුණක්!
එක්කො ඕන්නෑ ..
පවුල බේරගත්ත වගේ ද මං මළොත්!
ජංගියක් ගහගෙන මෙලෝ විචාරයක් නැතුව
උඩ පනින අර පොඩි එකාට
තේරෙනවෑ ඔව්ව!!!
“ලේන් ලේන් ගෝ අවේ - කම්ම ගේන නද ඩේ..!!”
හා කමක් නැද්ද???
අනේ මුගේ ගෙදට්ටම ආයෙ වැහැපන්
මෙහාට නං එපා දෙයියනේ!!!


පට්ටාස්!!!! ගැහුවා තව අකුණක්!!!!
අ... නෑ මං මොකුත් කිව්වෙ නෑ!!
*#@(>>#@/*

Monday, January 2, 2012

මගේ මිතුරේ රකිමි මුනිවත...

මගේ මිතුරේ රකිමි මුනිවත...


හිරු එබෙන්ටත් පෙර පටන් ලොව
සිහිලසින් සනහා නිවාලන
තුසරයක් වී සැලේ නම් ඔබ,
හිස් තුඩින් එය දරා ගන්නට
පතමි වීමට බලා සිටිනා
පුංචි පඳුරක තණ පතක්..........

නියං කාලෙට අහස දෙදරා
හාත් පස නහවා දිලෙන මහ
වැහි කඳක් වී වැටේ නම් ඔබ,
ඔබේ දිය ලැබ දිවි ලබන්නට
පතමි වන්නට ජීවයෙන් තොර
වියලි අත්තක මල් මිටක්................

දනන් තුටු කර සවණ නිවනා
සිත් සතන් ගී හඬින් සදනා
කොවුලෙකුව නුබ සරයි නම් නුඹ,
ඔබට උණුහුම සපත සැදුමට
පතමි වන ලෙස පෙරුම් පුරනා
ඔබේ සුරතේ පියාපතක්............


අඳුරු අඹරේ තරු පහන් කර
සඳක් සේ දිස් දෙවයි නම් නුඹ,
සිත පිරෙන තුරු රස විඳින්නට
පතමි නැවතත් හිරු නො ඒ වැයි
වෙතත් හැමකල් ගනඳුරක්..............

මගේ දෑසින් ඔබ දැකීමට
නොහැකි වූ මුත් ඔබට කිසි කල,
මගේ මිතුරේ රකිමි මුනිවත
අවසියෙන් මට ඔබේ මුහුණේ
එදා අද මෙන් සදා දැක්මට
සදාදර වූ සිනහවක්!!!!.............