සෙනෙහස....
පැතුයෙමි සෙනෙහස,
අම්මාගෙන් බාල කල පටන්
ඇගේ අතැඟිල්ලේ එල්ලී දැවටෙන්නට,
දෙන්නට පුංචි හාද්දක්,
ඇගේ සුවඳේ ගිලී,
“මං අම්මට ගොඩාක් ආදරෙයි!!”
අනේ එය කෙසේ නම්
කිනම් දා දැන ගනීවිද ඈ..,
නිවන් මං කරා පිය මැනූ නිසායෙන්
සත් මස ඉක්මවූ තැන................
පැතුයෙමි සෙනෙහස,
කාර්යබහුල වූ පියා ගෙන්,
“තාත්තෙ,”
අවැසි වූ හැම විටෙකම ඔහු
ලද්දේ එකම පිළිතුර විය,
“තමුසෙ දැන් ලොකු මිනිහෙක් නෙ,
ඕක තනියම කරගන්න පුළුවං.....”
සෙනෙහස සිඟා ගියෙමි,
එක කුස උපන් අයියා වෙතට,
ඔහුට හැකි වනු නිසැකය
තේරුම් ගැනීමට මා,
නමුත්,
“ඕයි පොඩි,
දෙනවකො රුපියල් සීයක්,
අතේ තියෙනවනං...”
එය එපමණම විය හැමදාමත්..............
අසරණව සෙනෙහස පැතුයෙමි,
සිප්හළේ ගුරුතුමාගෙන්,
“කවද්ද ඕයි තමුසෙ හැදෙන්නෙ???
නගිනව බංකුව උඩට!!.”
කියන්නට හෝ අසන්නට ගිය
සියල්ලක් අමතක විය!......
යැදීමෙන්, අයදිමෙන් දිනෙක
හෙම්බත්ව නැවතුනෙමි......
“මේ මොන මගුලක්ද!!!”
මොර ගෑය විඩාපත් මගේ හදවත,
“අපට උවමනා නැහැ
ඔය කියන සෙනෙහස!!”
සපථ කරගතිමි මම මට ම.............
එතැන් පටන් දරදඬු ඇට්ටරයෙකු වූ මම,
වදනේ මුළු අරුතෙන්ම,
ඔබ අද මගෙන් පතනා සෙනෙහස
කෙසේ නම්, කොයින් නම් දෙම් දෝ යි
සිතමින් ලතැවෙන්නෙමි..........
සෙනෙහස පැතීමේ ලා,
සදාකාලික පරාජිතයෙකු වූ මම,
කෙසේ නම් ඔබට වටහා දෙන්නද,
දිවි හිමියෙන් ඔබ පතනා සෙනෙහස
යළි පැතීමට මා බිය බව........
හිස්ව ඇති බව මගේ ආත්මය
ඔවුන් එදා සිට කියූ ඒ ‘සෙනෙහසින්!’
“ගිනි පෙල්ලෙන් බැට කෑ එකා
කණාමැදිරියටත් බයලු!”
කෙසේ සනසම්ද මා නුඹ,
සැබෑ සෙනෙහස නම් මේ නොවේ මැයි කියා..,
එහි අරුතක් මා හෝ
නොදන්නා කල.........???
4 comments:
Post a Comment