Friday, May 1, 2020

The Quarantine Diary - මගේ ලොක් ඩවුන් ජිවිතේ ගෙවෙන හැටි...



අද ලෝක කම්කරුවන්ගේ දිනේ ලු නේ.. ඉතින් අපිට නිවාඩු! 😄අද කොහොම හරි තව පොස්ට් එකක් දානව කියල හිතන් හිටපු නිසා මට හිතුණා මේ curfew දවස් ගෙවුණ විදිය ගැන ටිකක් කතා කරන්න.

ඉතින් කලින් කිව්වත් වගේ මේ කාලේ ගෙවෙන විදියට මම නම් කැමති. කොටින්ම කිව්වොත් මට "මිස්" වෙන දේවල් විදියට කියන්න තියෙන දේවල් තියෙන්නෙ හරි ටිකයි. චීස් කොත්තුවක් වගේ කඩචෝරුවක් කන්න එහෙම ආසාවක් නැතුවා ම නෙවෙයි, ඒත් මේ ලැබිල තියෙන නිස්කලංක බවත් එක්ක "me -time" එක වැඩි වෙලා මගේ හිත වෙනදට වඩා දැන් නිදහසෙන්  ඉන්න බවක් මට දැනෙනවා.

මම කලින් කිව්වා වගේ "කරන්න  ඕනි එත් වෙලාව නෑ" කියල තිබුණ, සහ කළින් කරලා තිබුණේ නැති දේවල් කීපයක් ම මේ කාලේ ඇතුළදී කරන්න මට පුළුවන් වුණා. ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගත්ත එකත් ඒවෙන් එකක්.😊

අපි working from home නිසා office එකේ වැඩ ටික වෙනදා වගේම සිද්ධ වෙනවා. එකම වෙනස තියෙන්නේ ඒක කරන්නේ කොහොමද, උදේද දවල්ද රෑ ද කියන එක මම මට පහසු විදියට තීරණය කරන එක විතරයි. අක්කලා මේ ටිකේ ඉන්නේ අපේ ගෙදර නිසා පොඩි එකා ගේ හුරතලෙන් ගෙදර පිරිලා තියෙන්නේ. හැමදාම දවස පටන් ගන්නේ අම්මගේ රසබර තේ කෝප්පෙකින්. ඉස්සර නම් චූන්-පාන් dial එකක් හවසට හවසට ආවා, එත් කුඩගම පැත්තෙන් positive case එකක් හම්බුණ දවසේ ඉදලා ඌත් නෑ.  ඒ නිසා හවස තේ එකත් එක්ක ගිල දමපු උණු උණු කිඹුලා බනිස්, සීනි සම්බල් බන් වගේම පහුවෙනිදා උදේ කෑමට ගන්න පාන් සැපයුම ඔක්කොම ඇන හිටලා. ඒ නිසා දැන් ඉතින් අම්මා උදේට මොනා හරි ඇට ජාතියක් හරි, අල ජාතියක් නැත්තම් නූඩ්ල්ස් ටිකක් රසට තම්බලා තියනවා. නැත්තම් හදනවා රස බේරෙන කිරිබතක් හොඳ ලුණු මිරිසකුත් එක්ක. එහෙමත් නැත්නම් බත් ම  උයනවා යහමින් මිරිස්, දෙහි ඇඹුල් දාපු රසම රස පොල් සම්බෝලයක් එක්ක. මිරිසට හදපු අල හොදයි, උණු බතුයි, පොල් සම්බෝලයි තුන් වේලම මාසයක් වුණත් කන්න පුළුවන්! 😁 ඔය variety එක මදැයි උදේ කෑමට!

කරන්න කොච්චර ඕනි කියල ඇහුවත්, හිතුණත් ව්‍යායාම මොකුත් නම් කෙරෙනව ගොඩක් අඩුයි. ඉඳ හිට යෝගා stretching ටිකක් ඇරුණම මොකුත් ම කරන්නේ නැති තරම්. මගේ කම්මැලිකම ඇරුනම ඒකට ප්‍රධානම හේතුව තමයි නිකන් ඉඳගෙන ඉද්දිම මෙච්චර දාඩිය දාල මැරෙන්න එද්දී, හිතලම දාඩිය දාන්න වැඩ කලොත් මොනා වෙයි ද කියල මට හිතා ගන්න බැරි කම. හිතුනම මම දවල් බුද්ධ පූජාව අරන් උඩ තට්ටුවේ මිදුලේ තියෙන බුදු මැදුරට යනවා.  පැයක් විතර වැඳලා, භාවනා කරලා, පිරිත් කියල එනවා. එතකොට හිත හරි නිදහස්. අපේ තාත්ත නම් බරටම වවනවා දැන්. මෑ, මිරිස්, නිවිති, තක්කාලි, බණ්ඩක්කා, වැටකොළු වගේ නානා විධ එළවලු එයාගේ වගාවේ තියෙනවා. වැඩිම වුණොත් දවස් දෙකක් විතර එයාට පොඩ්ඩක් උදවු කරල ඇති මම. 😁  

ඒත් මම ගහ කොළට, ගස් වල තියෙන කොළ පාට ට ගොඩාක් කැමති. සිග්නල් නැතිවෙලාවට එළියට ඇවිත් ගස්  දිහා බලාගෙන හුළං වැදි වැදී වැඩ කරන එකත් ඒ නිසාම ද කොහේදෝ දැන් පුරුද්දට ගිහින්. කාමරේ රස්නේ ඉවසන්න බැරි වුණාමත්, හිතට විවේකයක් උවමනා වුණාමත්, පොඩි කාලේ වගේම දැනුත් මම එන්නේ ඉස්තෝප්පුවේ පඩියට. වහින වෙලාවට එහෙම වැස්සේ ලස්සන විඳින්න; හුළඟේ ගහගෙන යන කොළවල නැටුම් බලන්න, අනිත් වෙලාවට එහෙන් මෙහෙන් මතුවෙන සමනල්ලු හොයන්න දැන් පොඩි එකාත් ඉස්තෝප්පුවේ පඩියටමාත් එක්ක එකතු වෙනවා. එයා අහන නානාප්‍රකාර ප්‍රශ්න වලට උත්තර දෙන එක; එයාගේ චිත්‍ර වල ලස්සන බලලා අදහස් දක්වන එක සහ පොඩි එකාගේ රස කතා හොය හොයා මුණු පොතට එකතු කරලා මේ ආදරේ අනෙත් හිත් වලටත් එකතු කරන එකත් මගේ දවසේ විශේෂ කොටසක්. සැලෝන් වහල නිසා අද අක්කා පොඩි එකාගේ කොන්ඩේ කපුවා; මම අක්කගේ කොන්ඩේ කපුවා. (කියන්න තරං ලොකු හානියක් නෑ- අම්මයි බබයි දෙන්නම හොඳින්! 😂😁)

දවල් කෑම අනිවාර්යෙන් ම බත්. මගේ ආසාව නිසා ගොඩක් වෙලාවට පොල් සම්බෝලත් තිබුණත්, ඊට අමතරව තියෙන එළවලු කරකවලා, ගැලපෙන සම්මිශ්‍රනයකින් අම්මා මෙනු එක අඩු පාඩුවක් නැතුව අපරාදේ කියන්න බෑ හදල තියෙනවා. හදල තියෙන ඒවා එයාගේ හිතට හරි මදි වගේ නම් රන්වන් පාටට බැදුණු පපඩමක්, උණු උණු ඔම්ලට් එකක්, තක්කලි සම්බෝලයක් මේසෙට ඇවිත් ඒ අඩුව අනිවාර්යෙන් පිරිමහනවා.

හවසට හවසට වෙලව සහ උවමනාව තියෙන විදියට මොනව හරි කෑමක් හදන්න අක්කයි මමයි එකතු වෙනවා. අපි දෙන්නා එකතු වෙලා අපරාදේ කියන්න බෑ මේ ටිකේ වඩේ හැදුවා, අල රොටි හැදුවා, හෑෂ් බ්‍රවුන්ස් හැදුවා, කට්ලට් හැදුවා, කිරිටොෆි හැදුවා, සීනි මුරුක්කු හැදුවා, පොල්-පැණි දාපු පෑන් කේක් හැදුවා, කුකීස් හැදුවා, පාන් කොත්තු හැදුවා... තව.... ඉන්දියන් ක්‍රමේට මසාලා චායි හැදුවා! මේවායින් ගොඩක් ඒවා මගේ පළවෙනිට්‍රයි එක! එහෙම අත්හදාබැලීමක් හරි ගියාම එන සතුට ඇත්තටම වෙනමම එකක්!😌😊 මේවා ගොඩක් වෙලාවට හදන්නේ අතරට - තේ බොන්න. ඒ ඇරෙන්න, ගොඩාක් කාලෙකින් රස බලපු නැති නිසා අම්මා දවසක් කැන්ද කොළ කඩාගෙන ඇවිත් ඇති තරම් කන්න හැලප හදල දුන්නා. ඉතුරු බත් වේලලා, බැදලා හදන අග්ගලා තවත් දවසක තේ වේලෙ අඩුපාඩු සම්පුර්ණ කළා. මේ මොකුත් නැත්තම් අම්මා සමපෝෂ බෝලයක් හරි හදලා දෙනවා අපි කුනු කුනු ගාන්න ගත්තොත් ඉතින්. 😊

රෑ කෑමට අපේ ඒ හැටි අවධානයක් නෑ ඇත්තම කිව්වොත්. ගොඩක් වෙලාවට දවල් බත් ඉතුරු වෙනවා, ඉස්සර නම් පාන් ගත්තා මදි පාඩුවට දැන් ඉතින් අම්මා පොල් රොටි ටිකක්, නුඩ්ල්ස්  පොඩ්ඩක් වගේ පොඩි දෙයක් හදනවා. ගොඩක් වෙලාවට ඒ  මදි පාඩුව සම්පුර්ණ කරන්න මමත් සම්මාදන් වෙනවා කොත්තු මී වලින් එක එක අත් හදා බැලීම් කර කර. 

ගෙදර අඩුපාඩු හොයලා කතා වෙලා ලිස්ට් හදලා ඔන්ලයින් ඔර්ඩර් කරන එක, ෆාමසියෙන් බෙහෙත් ඔර්ඩර් කරන එක, එළවලු ලොරිය - මාළු ලොරිය ගැන "මීටරෙන්" ඉන්න එක, පොඩි එකා එහා ගෙදර කොලුවත් එක්ක ඕනවට වඩා ඇගෑලුම්කම් පානවද කියල ඇහැ ගහන් ඉන්න එක, සෝෂල් මීඩියා අස්සේ දවසට කීප වතාවක් වත් සැරිසරන එක, ප්‍රවුත්ති බලන එක, ඉඟුරු තේ සංචින්තය අඩු වේගන එද්දී "අම්මේ තේ!" ගාන එක, පොඩි එකා එක්ක කෝලම් කරන එක දැන් බොහොම සාමාන්‍ය එදිනෙදා දේවල්. මේ අතරතුර මට වැදගත් ගෘප් චැට් එකක දෙකක පොඩ්ඩක් විස්තර කතා කරන්න, උන් බිසී නිසා මාව අමතකයි වගේ හිතුණ එක්කෙනෙක් දෙන්නෙක් ට බලෙන් ම ගිහින් personal message එකක් දාන්න, මං බිසී නිසා මට අමතකයි වගේ හිතුණ පරණ යාලුවෙක් දෙන්නෙක්ට text  කතා කරලා සැප දුක බලන්න, මේ අමාරු කාලෙන් ගොඩ එනකන් හැමෝගෙම හිත් ධනාත්මක ව, සතුටෙන් තියන්න - සැහැල්ලුවෙන් තියන්න උදවු වෙන දේවල් විතරක් සෝෂල් මීඩියා වල පොස්ට් කරන්නත් මම අමතක කරන්නේ නෑ. 

හැමදාම නිදා ගන්න කලින් ගෙවුන දවස ගැන හිතලා මම මගේ ආශිර්වාදයන් - blessings ගණන් කරනවා. ස්තුතිවන්ත වෙනවා. කෘතඥශීලි වෙනවා. ගෙදර "හිරවෙලා" කියල හිතනවට වඩා ගෙදර "පරිස්සමට ඉන්නවා" කියන අවබෝධය අපිට ඇතිකරගන්න පුළුවන් නම්, මේ ලෝක් ඩවුන් පීරියඩ් එක මානසික පීඩනයක් වෙනුවට මානසික සුවතාවයක් ඇති කරන එකක් බවට පත් කරගන්න අපිට පුළුවන් කියල මම ගොඩක්ම විශ්වාස කරනවා. ඔයත් නැවතිලා, ඌමනාවෙන් පොඩ්ඩක් වටපිට බැලුවොතින් තේරෙයි ඔයාට ඕන හැම දේමත් ඔයා ගාවම තියෙන බව.



මේ හැම දේමත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න ඕනි නිසා කරන්න තියෙන හැමදේම හොඳට plan කරලා ඔයාගේ වෙලාව අරගෙන සැනසිල්ලේ කරන එක තමයි හොඳම දේ. මේකෙන් කවදා හරි ගොඩ එන දවසට, ඔයත් මමත් හිටියට වඩා ශක්තිමත් ව එකට ගොඩට එන්න ඕන නිසා අපි අඳුරු වලාකුළු වල තියෙන පුංචි පුංචි රිදී රේඛා හොයන්න පටන් ගනිමු. ඒවා හොයාගන්න බැරුව දුකෙන්, වියවුලෙන් ඉන්න අයට ඒවා පෙන්නලා හොයාගන්න උදවු කරමු. තව කෙනෙක්ට උදව්වක් කරන්න, පුංචි අත්හදා බැලීමක් කරන්න, තමන් ගැනත් හැමෝම ගැනත් හොයල බලන්න හොඳම කාලය තමයි මේ. ඉතින් පරිස්සමින් ඉන්න. "මීටරෙන්" ඉන්න. සතුටින් ඉන්න. ඉක්මනින්ම  ආයෙත් හම්බවෙමු! 😊🤗🤗


0 comments:

Post a Comment