Saturday, April 25, 2020

අවුරුදු හතරකට පස්සෙ දවසක... කොරෝනා වසංගතය මැද!


හැම අවුරුද්දක ම හිතා ගත්තත් මේ අවුරුද්දෙ නම් ආයෙත් ලියන්න පටන් ගන්නවා කියල, ඇත්තටම ආයෙත් බ්ලොග් පොස්ට් එකක් මේ දාන්නෙ අවුරුදු හතරකට පස්සෙ. ලියන්න තිබුන ආසාව නැති වුණා නෙවෙයි; ජිවිතේ දුවන දිවිල්ලත් එක්ක බ්ලොග් ලියන එක එන්න එන්නම මගේ priority ලිස්ට් එකේ පල්ලෙහාට තල්ලු වුණා මම හිතන්නෙ. ඒත් ලෝකෙම එක තැන නතර කරල තියෙන මේ කොරෝනා වසංගතය නිසා ඒ දිවිල්ලෙන් පුංචි විවේකයක් ගන්න මට අවස්ථාවක් හම්බුණා කියල මම හිතනවා. කොළඹ ඒකාකාරී ජීවිතෙන් පොඩ්ඩක් මිදිලා,ගහකොළ ගොඩක් මැද්දේ පිරිසිදු නැවුම් හුස්ම ටිකක් ගන්න කොට, වහිනකොට - මහ හුළං හමනකොට ඒ ලස්සන සුවඳත් එක්ක හිරිකඩ මූණේ වදිනකොට ඇතිවෙන හැඟීම ආයෙත් මතක් කරන්න - නවතින්න මට අවුරුදු හතරක් ගියා.  

සමාජ සම්බන්ධතා අවම නිසා මගේ ශක්තියේ ඉතුරුවකුත්; බාධා වීම් අවම නිසා කරන වැඩේ කාර්යක්ෂමතාව වගේම ප්‍රමිතිය ඉහල යාමකුත්, ගමන් බිමන් අවම නිසා කාලය ඉතුරුවක් සහ ගෙදර ගැන හිත හිත ඉන්නවා වෙනුවට ගෙදරම ඉදන් අම්ම එක්ක කයියක් ගහන්න, එයා හදපු කෑම වේල් තුනක් එක්ක මදි පාඩුවට දුම් දමන ඉඟුරු තේ කෝප්ප හතර පහක රස බලන්න, මට හිතුන වෙලාවට ගිහින් පහනක් පූජ කරන්න, ටිකක් භාවනා කරන්න ඉඩ ලැබිල තියෙන නිසා, මගේ හිතට සෑහෙන කාලෙකින් ලොකු සාමයක් ලැබිල තියෙනව වගේ දැනෙනව. ඉතින් තරහ වෙන්න එපා මම නම් මේ විදියට කැමති! මොකද මේ හැම දේම කාලයක් තිස්සෙ "කරන්න ඕනි-ඒත් වෙලාව නෑ" කියල හිතුන දේවල් වලට යොමු වෙන්න මට ඉඩ හසර හදල දුන්න කියල මම හිතනව. ලියන එක, ඒවායින් එකක්. 

ඉතින් මේ  අවුරුදු හතර පුරාවටම "කෝ දැන් ලියන්නෙ  නැද්ද?", "ලියන එක නවත්තලද?", "මොනව හරි ලියනවා!", "පොස්ට් එකක් දැක්කෙම නෑ" කිය කියා මගේ පස්සෙන් ම ඉඳන් බ්ලොග් එක මට අමතක කරන්න ඉඩ නොතිබ්බ හැමෝටම ගොඩක් ම ස්තුති! :)

මේක හැමෝටම අමාරු කාලයක්. ඔයාට; මට; අපි හැමෝටම ලොකු පුංචි විදියට මේ ලොක්-ඩවුන්  එකේ අමාරුකම් තියෙනවා. එත් පොඩ්ඩක් නැවතිලා, හැමදේම නවත්තලා පොඩ්ඩක් හැරිලා බැලුවොත්  ඔයාට තේරෙයි ඒ අමාරුකම් මත්තේම එල්ලිලා ඉන්නවට වඩා, අපිට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල්; සතුටු වෙන්න පුළුවන් දේවල් කොච්චර නම් අපේ ඇස් ඉදිරිපිටම තියෙනව ද  කියල. තව කෙනෙක් "අනේ තිබුණ නම් කොච්චර දෙයක් ද" කියන දේවල් කොච්චරක් නම් අපි ගාව තියෙනවද? ඒ දේවල් වලට ඔයාගේ අවධානය දෙන්න. මේ අමාරු කාලේ ඉවර වෙනකන් හිත සැහැල්ලුවෙන් තියන්න ඒක උදවු වෙයි.

අපි පරිස්සමින් ඉමු. එකිනෙකා ගැන හොයල බලමු. හැමෝටම අපි නොදන්න තම-තමන්ගේ ප්‍රශ්න තියෙනව කියන එක තේරුම් අරන් හැමෝටම කාරුණික වෙමු. තමන්ගේ ආගමේ, ජාතියේ, පක්ෂේ, ගම් පළාතේ අයට විතරක්  නෙවෙයි - හැමෝටම!!! මොකද අපි ගොඩ එනවනම්, ගොඩ එන්න වෙන්නෙ "හැමෝමත් එක්ක" විතරමයි! :)



0 comments:

Post a Comment