Showing posts with label කුරුටු බලි. Show all posts
Showing posts with label කුරුටු බලි. Show all posts

Tuesday, January 19, 2016

ලංකාවෙ පිරිමි!!!! (-__-)


හිතේ තියෙන බලාපොරොත්තු ඔක්කොම ඉටු වෙන සුබ  අලුත් අවුරුද්දක් වේවා හැමෝටම කියල ප්‍රර්ථනා කරන ගමන් මම මේ අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලම post එක ලියන්න පටන් ගන්නම්! :) :)

උඩින් කියවෙනව වගේම මේක ලියන්නෙ ලංකාවෙ පිරිමි ගැන. හුඟාක් කාලෙක ඉදං ලියන්න අදහස් ගොඩක් එකතු වෙලා තිබුණ මාතෘකාවක් මේක. අද තමයි ලියන්න නිදහසක් හම්බුනේ. මේක කියවන හැමෝම බොහොම පුළුල් මනසිකත්වෙකින් මේක කියවයි කියල මම හිතනව. සහ තමන්ට අදාළ නැත්තම් කේන්ති ගන්න එහෙම දෙයක් නෑ. :P හරි නෙ?

ලංකාවෙ ගෑණු සහ ඒ අයගේ හැදියාව ගැන කතා කරන්න ගොඩක් අය ඉන්නවා නෙ. ඒත් අපේ පිරිමි සහ ඒ අයගේ හැදියාව ගැන කතා වෙනවා හරි අඩුයි. ඒ නිසා මගේ සහ මම කතා බහ කරපු ගොඩක් ගෑණු පාර්ශවයේ අයගේ අදහස් එකතු කරලා තමයි මේක ලියන්නෙ. එහෙනම් සැරසෙන්... එල්ල වේන් ..හරි? :D

ලංකාවෙ පිරිමි! ඒ අකුරු දෙක ඇහුන ගමන් ඉස්සෙල්ලාම ඔලුවට එන්නේ මොකද්ද? ඔබ හරි! “Sexual Frustration!!!” ඔව් ඒක ඇත්ත. (සමාවෙන්න මම ඒකෙ සිංහල වචනේ හරියටම දන්නෙ නෑ) ඔය මුල අකුරු තුන අන්තර්ජාලයේ හොයපු අය අතරෙන් ලෝකෙන් ම තුන්වෙනි තැන ලෝකෙන්ම උතුම් රට වුණු මේ ලංකාව කියන එක රහසක් නෙවෙයි නෙ. මම අපේ රටේ බහුතරයක් පිරිමි sexually frustrated කියල කියන්නෙ ඒ නිසාම විතරක් නෙවෙයි. එහෙම කියන්නෙ මට සහ මම අවට ඉන්න ගෑණු ළමයින්ට මුණ දෙන්න වුණ අනන්ත අත්දැකීම් සලකලා..



මම බොහොම සාමාන්‍ය පවුලකින් එන සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරන ළමයෙක්. බොහොම සාමාන්‍ය ඩෙනිමක් සහ ටී-ෂර්ට් එකක් ඇඳල රබර් සෙරප්පු දෙකක් දාල බස් එකේ ගමන් බිමන් යන කෙනෙක්. මම එහෙම කිව්වෙ සමහර හරි බුද්ධිමත් මිනිස්සු කියනවා නෙ මෙහෙම පිරිමි “පොළොඹවා ගන්නෙ” අපි මයි කියලා. ඉතින් ඔහොම හිරිකිත සත්තු පොලොම්බවා ගැනීමක් මගෙන් වෙන්නෙ නෑ කියන එක මුලින් ම කියන්න ඕනි වුණා. අනික මම කැමති ඇඳුමක් මගේ පාඩුවේ ඇඳන් යන්න මේ නිදහස් රටේ මට අයිතියක් තියෙන්න ඕනි! ඇයි නැද්ද?කොහොම හරි ඉතින් මම උදේ කොහේ හරි ගමනක් යන්න එලියට බැස්ස වෙලේ ඉඳලා... ඒ අදාළ තැනට යන කන් ටිකට මගේ ලේ කොච්චර පිච්චෙනවා කියල ද ඕගොල්ලෝ හිතන්නෙ? නිකං දල වශයෙන්?

බස් හෝල්ට් එකේ විනාඩි පහළොවකට වඩා හිටියොත් අවංකවම මගේ ඔලුව රිදෙන්න ගන්නවා පාරේ යන ත්‍රී වීල් ඇතුළු අනිත් වාහන වල යන "පිරිමියි" (??) කියා ගන්න මිනිස්සු කියන දේවල් අහල. අඩුම තරමේ හෝන් එකක් ගහන්නෙ නැතුව, හෙඩ් ලියිට් දාන්නේ නැතුව යන්නෙ නැති වහනයක් නැති තරම්. එහෙම කරන එක නෙවෙයි ප්‍රශ්නෙ. මගේ ඇඟේ වදින්නේ නෑ, ඇත්ත! ඒත් ප්‍රශ්නෙ, ඇයි එහෙම කරන්නෙ?

බස් එකට නැග්ග වෙලේ ඉඳලා බහිනකන් විඳින්න වෙන කරදර ඊළගට! ඔය ෆේස්බුක් එකේ එක එක pages වල සිංහල බෞද්ධ කම ගැන, ගෑණු ළමයින්ගේ හැදියාව ගැන එහෙම හරි හිත් වේදනාවෙන් කතා කරන්න අයියලා, අංකල් ලා බස් එකකට ගොඩ වුණාම බලන්න ඕනි හැදියාව! උන් තරම් බස් වල  ගෑනුන්ගෙන් බැණුම් අහන තවත් ජාතියක් නැතුව ඇති! රටේ ලෝකෙට පේන්න කාඩ්බෝඩ් සිල්වත් කමක් පෙන්නන් ඉන්න මේ විදියේ ගොඩක් මිනිස්සු තම තමන්ගේ sexual frustration එක නැති කරගන්න හදන්නෙ බස් එකේ යන ගෑණු පාර්ශවය පිටින් දාල. මේ බස් වල ගිහින් මගේ ලේ පිච්චිලා තියෙන ප්‍රමාණය මෙච්චරයි කියන්න බැරි තරම්. එච්චර හරිම කළකිරීමකට, පිලිකුලකට පත් වෙනවා ලංකාවෙ ඉන්නේ මෙහෙම පිරිමි ද කියල. මුන් ගේ තියෙන්නෙ මොන “ලේ” ද බලන්න හැම ගෑණියෙක් අතටම පිහියක් දීල තියන්න ඕනි!  අවුරුදු ගානක අත්දැකීමෙන් දැන් මගේ නිගමනය තමයි ඕනෑම බස් එකක ඉන්න නාඳුනන හැම පිරිමියෙක් ම ජරා පිරිමියෙක්! කෙනෙක් කියන්න පුළුවන් මම paranoid කියල. නමුත් ඒ විදිය වඩා ආරක්ෂා සහිතයි.


මේ පුංචි උදාහරණයක්.. දවසක් මම ආපු බස් එකේ සාරියක් ඇඳන් වැදගත් විදියට වාඩි වෙලා ගිය අහිංසක අක්ක කෙනෙක්ට ඊට එහා පැත්තෙ වාඩි වෙලා ගිය කොල්ලො යැයි කියාගන්නා සත්තු තුන් දෙනෙක් නා නාප්‍රකාර දේවල් කිය කිය ආවා. මේ එක බොහොම සරළ අවස්ථාවක් විතරයි! ඒ කියන ගමන් කියනවා,
“නංගි තරහ වෙන්න එපා නංගි, අපි වගේ කොල්ලො ඔයාල වගේ කෙල්ලන්ට විහිලු නොකර ආච්චිලට විහිලු කරන්නද!” කියල! මතක් වෙද්දීත් මගේ ලේ පිච්චෙනවා! ඇයි දෙයියනේ! දැන් එතකොට අපේ රටේ කොල්ලොයි කියාගන්න ඒ වගේ කාලකන්නි හිතාගෙන ඉන්නේ බස් වල යන ගෑණු ළමයි ඉන්නේ උන්ගේ විහිලුවට ලක් වෙන්න කියල!??? ඒ කියන්නෙ කොල්ලො නම් කාට හරි මොනා හරි කියන්නම ඕනි? අපිත් බස් වල යන්නෙ ආසාවට නෙවයි. වැදගත් ගමනක් යන්න හරි ,මහන්සි වෙලා අපහු ගෙදර යන්න හරි බස් එකකට නැග්ගම ඒකෙ පාඩුවේ යන්න දෙන්නේ නැතුව මෙහෙම හරි මීට අන්ත හරි කුණු ගොඩක් සෙට් වුණාම ඉතිං හරි, දවසම ඉවරයි!


ඊළගට බස් එකෙන් බැහැල පාරේ ඇවිදන් යද්දි..සංසාරේ!!! “ගුඩ් මෝර්නින්!” එකේ ඉදං “ආ නංගි.., ලස්සනයි ආ, කොහෙද යන්නෙ, hi, සුදූ, චුටි,මැණික..”  විදියට ගිහිං මේකෙ කියන්න බැරි දේවල් වලින් ඉවර වෙන ලිස්ට් එකක් උන් ගාව තියෙනව. මුණට හම්බෙන හැම කෙල්ලටම මොනවාම හරි අද කියනවා.......... කියන තිර අධිෂ්ඨානයෙන් වෙන්නැති මුන් ගෙදරින් එලියට බහින්නේ! ඒ දේවල් වල තේරුමක් තියෙන්න ඕනි නෑ.. කටට එන මොනා හරි කියනවා! කුනුහරුපයක් හරි කමක් නෑ! මොකුත්ම කටට එන්නේ නැත්තම් විසිල් එකක් හරි ඒකත් නැත්තම් නිකං සද්දයක් හරි දානවා. ඇයි මේ? මොකද්ද මෙච්චර අසහනේ? ගෑණු කියන්නෙ දැකල නැති ජාතියක් ද? ඇයි යකෝ ගෙදර අම්මෙක්, සහෝදරියෙක් නැද්ද බලා ගන්න ගෑණු කියන්නෙ මුණුන්ටයිකියල? දැන් ගොබ්බයෙක් වගේ අහන්න එපා  ඉතින් ගුඩ් මෝර්නිග් කිව්වම මොකද වෙන්නෙ, අරකද මේකද කියල. මනුස්සයෙක් දෙයක් කියන විදියක් තියෙනව නෙ. හුස්ම හිර වෙන්න එනවා වගේ කට දෙපැත්තෙන් කෙල බේරගෙන ගුඩ් මෝර්නිග් කියන්නෙ සුබ උදැසනක් කියන ප්‍රර්ථනාවකින් නෙවෙයි. ඔයාවත් මමවත් බබ්බු නෙවෙයි නෙ! -_- වෙන රටවල් වල නම් මේවා නීතියෙන් දඬුවම් ලැබෙන අපාරාධ!

පිටකොටුවේ වට රවුම ගාවින් යන හැම ගෑනියෙක් දිහාම එතන ඉන්න පිරිමි බලන්නෙ ගණිකාවක් දිහා බලනව වගේ. ඒ හරියේ මිනිස්සු ගාවින් යද්දිත් හරිම පිළිකුල් සහගත හැඟීමක් දැනෙනව.මම මේ කතා කරන පිරිමින්ට වයස බේදයක් නෑ.හැරමිටියෙන් යන වයසක සීයලා ගේ ඉදං පහලට..මේ පොඩි ඇටකිච්චා කොල්ලො පවා දැන් ගෑනියෙක් දැක්කම විසිල් ගහනවා!මොකුත්ම කරගන්න බැරි නම් චිත්ත රුපයක් හරි මවල ඇති!

ඊළඟ එක තමයි, අපේ "ජව සම්පන්න" ලංකාවෙ පිරිමි තමන්ගේ අර කලින් කිව්ව frustration එක නැති කරගන්න කරන තව ශෝකජනක දෙයක් තමයි, අවස්ථාවක් හොයා.......ගෙන ගිහින් කොහේ හරි ඉන්න කෙල්ලෙක්ට තිත්ත කුණු හරුපෙන් fb එකේ බනින එක. අර ගෑනුළමයෙක්ට Enrique කිස් එකක් දුන්නයි කියල අපේ "විනීත" පිරිමින්ගේ ජවය අවදි වෙලා තිබ්බ හැටි දැක්කද fb එකේ? දෙයියනේ කොයි තරම් කැක්කුමක් ද! පවු! හරියට නිකක් ඒ මිනිස්සුන්ගේ කසාද ගෑණු වෙන මිනිහෙක් එක්ක හොටෙල් රූම් එකක ඉදල අහු වුණා වගේ! මේවා හිනා යන වැඩ! අපිට නම් මුන් පේන්නෙ "ඉඹින්න බැරි අත හපනවා" වගේ වැඩක් කරන දුක්ඛිත desperate මිනිස්සු ටිකක් කියලා විතරයි. එහෙම ජීවිතේට දැකලවත් නැති, තමුන්ට කිසි වැරද්දක් කලෙත් නැති කොහේ හරි ඉන්න ගෑනියෙක්ට කුණුහරුප කියද්දි මේ මිනිස්සුන්ට හරි "MANLY" ගතියක් එනව ඇති මගේ හිතේ!

ඔහොම මිනිස්සුම තමයි මුණු පොත පුරාම තියෙන කුණුහරුප pages maintain කරන්නෙයි, ඒ වයේ වමනෙට එන තරම් අප්‍රසන්න comments දාන්නෙයි! අපිට එනවනේ මේක report කරන්න කියල ඉල්ලලා සමහර pages වල links ඒවෙන් පීඩාවට පත්වුණු ළමයින්ගෙන්. එහෙම ගිහින් බැලුවම දෙයියනේ මෙහෙම පහත් මානසික මට්ටමක් තියෙන මිනිස්සු ඉන්න රටකද අපි ජිවත් වෙන්නෙ කියල හරිම සංවේගයක් වගේම පිළිකුලක් ඇති වෙනවා! චික්!


අනික ඒ concert එකේදි ම ඔය විසි කරයි කිය කිය නටන undergarment එක විසි කළේ කවුද කියල කවුරුත් දැක්කද? ඕක විසි කළේ පිරිමියෙක් වෙන්න බැරි ද? මම සාධාරණීකරණය කරනවා නෙවෙයි, නමුත් එක වෙන්න පුළුවන් දෙයක්! මේ කෑගහන්නේ හරියට හොයල බලල නෙවෙයි? පිරිමි පාසල් වල big matches වලට ඕනි තරම් ප්‍රසිද්ධ කාන්තා විද්‍යාල වල uniforms ඇඳගෙන කොල්ලො එනවා! tv එකේ ඈතට එක පාරට පේන්නේ අරුන් අස්සේ අපේ එකෙක් uniform එකෙන් ඉන්නවා වගේ! එහෙමයි කියල ඒ ඉස්කෝලෙට බැනල හරිද?ඒක නෙවෙයි හේතුව! ලංකාවේ ඕනි දෙකට බනින්න ගෑණු ඉන්නවා! මොකද අපේ උන් හිතන් ඉන්නෙ සදාචාරේ සහ හැදියාව ගෑණුන්ට විතරක් තියෙන්න ඕනි දෙයක් කියල! අර පහත් තැනින් යයි ගලා ජලේ කියන්නෙ ඕක තමයි! හරි මගුලක් නෙ!

වරදවා වටහා ගන්න එපා! මම ස්ත්‍රී මත වාදය දරන feminist කෙනෙක් වත්, සම අයිතීන් ඉල්ලන් සටන් කරන කෙනෙක් වත් නෙවෙයි! සහ මම මේක මුළු ලංකාවටම සාමාන්‍යයිකරණ කරනවා කියල හිතන්න එපා! මටත් ඉන්නවා මම සහෝදරයන්ට වඩා ලඟින් ආශ්‍රය කරන පිරිමි යාළුවො ටිකක්! එහෙම මිනිස්සු නෑ කියල කියනවා නෙවෙයි. තොප්ප්පිය හරියන අයට තමයි මේක ලිව්වේ. පාරේ තොටේ වැඩිපුර හම්බවෙන්නේ අර වගේ sexually frustrated මිනිස්සු කියන එකට පාරේ ගිහින් තියෙන හැම ගෑනු කෙනාම එකඟ වෙයි . ඒ නිසා ලංකාව ගෑනු අපිට  භයානක තැනක් බවට පත් වෙලා! ඇයි ගෑනියෙක් දකින හැම වෙලේම මේ මිනිස්සුන්ට හිතන්න බැරි මේ ඉන්නේ මගේ අම්ම හරි,මගේ ලොකු අක්ක හරි, මගේ චූටි නංගි හරි, මම කසාද බැඳල ඉන්න හරි මම ආදරේ කරන හරි ගෑණි, අහවල් තැනදි මට උදවු කරපු ඒ නෝනා හරි වගේ තවත් කෙනෙක් කියලා? ඇයි කෑමක් හරි පාවිච්චි කරන්න තියෙන දෙයක් හරි විදියට අපිට සලකන්නෙ? ඇයි හිතන්නෙ නැත්තෙ මේ ඉන්නෙත් මම වගේ තව කාගේ හරි අම්ම කෙනෙක්, සහෝදරියෙක්, බිරිඳක් කියල? ඇයි ඒ ගෞරවේ අපිට දෙන්නෙ නැත්තෙ? ලැජ්ජයි!

ඒ නිසා කවුරු කවුරුත් එලොවටත් නැති මෙලොවටත් නැති ජාතිවාදයක් අල්ලන් නටන වෙලේ, මේ වගේ දේවල් නවත්තන්න මොනව හරි කරන්න උත්සහ කරා නම් වටිනවා! ගිහින් spray කරනවකෝ කාන්තා හිංසනය එපා!!! කියල කොහේ හරි! එච්චර දෙයක් කරන්න අපේ පිරිමින්ට මොලේ පාදගන්න පුළුවන් නම් තව මොනව කරන්න බැරි ද!

පොඩ්ඩක් හිතල බලන්න, මේ කිව්ව එක දෙයක් වත් කවදාවත් තමුන් කරලා නැද්ද කියල. එහෙම නම් රටක් විදියට අපි හිස නමා ඔයාට ආචාර කරනවා! ඔයාගේ අම්ම ඔයගැන ආඩම්බර වෙයි! එහෙම නැත්තම් ඉතින්, තමුසෙගෙ ඇඟේ මොන ලේ තිබ්බත්, තමුසෙට ආයෙත් කවදාවත් පිරිමි ආත්මයක් නම් ලැබෙන එකක් නෑ. කරපු දේවල් වලට වන්දි ගෙවන්න වෙද්දි  හිතාගන්න බැරි තරම් ගොඩක් රිදෙයි!

කෙනෙක් මරණාසන්න මොහොතෙදි මුළු ජීවිතේම තමන් කරපු දේවල් fast forward  කරපු ෆිල්ම් එකක් වගේ ඇස් ඉස්සරහ දිග ඇරෙනව ලු! ඉතිං පොඩ්ඩක් පරිස්සමෙන්! (-__-)



Sunday, August 12, 2012

බස් එකේ ගෙම්බෙක්!!!!! :O




ගිය සිකුරාදා ඇවිල්ලා කියන්න බැරි තරම් හරී සෝක් දවසක්! ඔන්න මම පාන්දර එලියට බහිනකොටම අම්බානකට වහින්න ගත්ත. ඊට පස්සෙ හවස එක එක හේතු ගොඩක් නිසා වැඩ ඉවර වෙන්න හොඳටම පරක්කු වුණා. ඔෆිස් එකෙන් අපි එනකොට හවස 6.30 ට විතර ඇති. ඒ ඇවිල්ලා කිලෝමීටරයක් විතර දිග පෝලිමක අග හරියට ජෝඉන්ට් වෙන්න මට අපරාදෙ කියන්න බෑ පුළුවන් වුණා.  මගේ වෙලාවට අපේ ගෙවල් ගාව අයිය කෙනෙකුත් මට පිටිපස්සෙන් ඒ වෙලාවටම පෝලිමට සෙට් වුණා.ඔන්න දැන් බස් එකක් ආව. අපි පෝලිමේ මුල හරියට එනකොට සීට් ඉවර වුණා..

“වෙන එහෙම බස් නෑ, මේක විතරයි තියෙන්නෙ.... නගින අය නගින්න....”

කොන්දා මහත්තයා කෑ ගහනවත් අපිට ඇහුනා.. ඒ වුනාට ඉතිං ඕක හැමදාම කියන බණේ නෙ. අපිත් ඉතිං අපි අහුවෙයි ඕවට.. හූ හූ.. වගේ නගින්නෙ නැතුව හිටගෙන බලාගෙන හිටියා. නැගපු කට්ටියකුත් සීට් නැති නිසා ආපහු බැස්ස. ඔන්න ටික වෙලාවකින් ඒ බස් එක ගියා. දැන් අපි හිටගෙන පාර බලාගෙන ඉන්නව. අර කලින් වගේම දිග පොලිමකුත් ආපහු හැදුන. දැන් ඔන්න ඔහොම ඉන්නව ඉන්නව.... හිටියට වැඩේ කියන්නෙ බස් නෑ... සිකුරාදා කියන්නෙ බස් එක එක හයර් එහෙම යන්න්නෙම නැති දවසක් නිසා කොහොමත් බස් ගොඩාක් එහෙම තියෙනවනෙ...ඉතිං අපි හිටියා හිටියා.. 

එතකොටම ඔන්න හෙණ ගැහුවා වගේ නිල ලත් ආරංචියක් ආවා අනේ අර කොන්දා මහත්මය කිව්වෙ ඇත්ත, ඒක තමයි ආපු අන්තිම බස් එක කියල.. ඒක ඇහුව විතරයි අර අලී පෝලිමේ හිටපු සේරම කට්ටිය කොහේ ගියාද දන්නෑ අන්තිමට මායි අර අයියයි තව කීප දෙනෙකුයි විතරක් ඉතුරු වුණා.. අපිට එහා පැත්තෙ දැන් අලුත් පාර බස් එකක් තියෙනව අපි දැක්ක.. ආහ් හරි ඒකෙ යමු කියල හිත හදාගෙන ගිහින් බලද්දි අපරාදෙ කියන්න බෑ ඒකෙ ටයර් එකක හුලන් ගිහිං.. ඒකෙ ඩ්‍රයිවර් සහ කොන්දා මහත්වරු එහෙට මෙහෙට දුව දුව හිටපු හින්ද මේක හදාගෙන කොහොම හරි යයි කියල අපි හිත හදාගෙන හිටිය..

ඔහොම ඉන්නකොට ඉන්නකොට යාන්තම් 7.30 විතර වෙද්දි අනේ අර දෙන්න සෑහෙන්න මහන්සිවෙලා spare wheel  එක දාගත්ත..හුරේ!! වැඩේ හරී!  :D අපි ඩුක් ගාල බස් එකට නැග්ග. මම ඉතාම තදබල නිදිමතේ සහ මහන්සියෙන් හිටපු නිසා නිදා ගත්තම ඔලුව වදින්නෙ නැති, දොරට කෙලින්ම ඉස්සරහ සීට් එක අපි තෝරගත්ත. බස් එකේ සීට් ඔක්කොම පිරෙන්න වත් සෙනග හිටියේ නෑ. හොඳවයින් දෙකක් දාගත්තා ය කියල අපි අනුමාන කරපු තට්ට අංකල් කෙනෙක් ටිකක් වෙලා ඉදගෙන ඉඳලා ආයේ දොර ගාවට ගිහිං “මේක යන්නෙ කීයටද????” කියල අහල හැමෝගෙම රැවුම් ගෙරවුම් වලට ලක් වුණා.. කොහොම කොහොම හරි අනේ දෙයියියියනේ කියල ඔන්න දැන් බස් එක යන්න පිටත් වුණා... AHEM…

ටිකක් වෙලා යනකොට මට එහා පැත්තෙ ඉඳගෙන හිටපු අර අයියා දොර පැත්ත බිම බලා ගෙන ඉන්නව..
මමත් ඉතිං ඉතා ඕනකමින් “ඇයි??” ඇහුව.

“බස් එකේ ගෙම්බෙක් ඉනන්ව!” එයා මද සිනාවකින් මට කියනව..

“ම්ම්ම්ම්ම්ම්මොකා??????!!!!! :O :O” මම උඩ ගිහිං බිම වැටුණ..

“ගෙම්බෙක් ගෙම්බෙක්?? බස් එකේ ගෙම්බෙක් ඉන්නව.. මේ!!” එයා බිමට ඇත දික් කරලා ආපහු කිව්ව..

හපොයියී!! :/ >:O

“අනේ බොරු කියන් නැතුව ඉන්න!”

“බොරු නෙවෙයි.. මේ ඉන්නේ! කකුල් දෙක උඩ තියාගෙන ඉන්න!!”

හා! කමක් නැද්ද? මම මේ පාන් වත් කියාගන්න බැරුව ඉන්නව! කොහොම හරි අපි හිටියේ රෝදෙට පිටිපස්සෙ සීට් එකේ නිසා කකුල් දෙක බිම තියන් නැතුව ටිකක් උඩින් තියාගන්න පුළුවන් වුණා.. අර අයියා මොකක් හරි ජිල් මාට්‌ එකක් කරලා ගෙම්බ දොරෙන් එලියට දාන්න හදනකොටම හෙණ ගැහුව වගේ කොල්ලෙක් පිටිපස්සෙ දොරෙන් බස් එකට නැගල ගෙම්බ හිටි තැනට ආව.. -_- හරිනෙ ඉතිං! ගෙම්බ ආගිය අතක් නෑ දැන්.!!! අර අයිය වටේ පොඩි search පාරක් දැම්ම ගෙම්බ හොයා ගන්න.. ඒත් ම්ම්හු! එහෙනම් ඌ කොහේ හරි මුල්ලකට යන ඇති කියල ඉතිං අපිත් ඊට පස්සෙ පාඩුවෙ හිටිය. දැන් කොන්ද මහත්ත ටිකට් කඩාගෙන කඩාගෙන ඉස්සරහ ඉඳලා එනව. අපි දෙන්නත් චැට් එකක් දාගෙන ඔහේ හිටිය. එක පාරට අර අයිය මගේ දණහිසට ඉස්සරහ සීට් එක දිහා හොඳට බලාගෙන ඉන්නව.

“ඒහ්හ්.. මේ ඉන්නෙ අර ගෙම්බ!!!!” :O
මගේ සියොලඟම සිතල වෙලා ගල් වෙලා වාෂ්ප වුණා.. <:S  <:O
මගේ දණහිසේ ගෑවී නොගැවී මට ඉස්සර සීට් එක පිටිපස්සෙ ඉන්නව කළු, කැත, තඩි, දිග, ඉතාම ජුගුප්සාජනක ගෙම්බෙක්!!!!!! >:O


මම දන්නෑ මට මොනා වුනාද කියල... මම පුළුවන් තරං පිටිපස්සට තද වෙලා ඇස් දෙක වහගෙන අත් දෙකෙන්ම මුණත් වහගත්ත. හොඳ වෙලාවට ඒ වෙද්දි කොන්ද මහත්තය ඒ හරියෙ හිටියෙ. කට්ටිය කොන්දට කියල කොන්ද වහාම ක්‍රියාත්මක වන පරිදි උට මොනා හරි කරන්න ඇති.

“හරි හරි!”
අර අයිය කිව්වම මම ඇස් ඇරලා භීතියෙන් වට පිට බැලුව. වටේම කට්ටිය movie එකක් බලනවා වගේ හික් ගාගෙන මගේ දිහා බලාගෙන ඉන්නවයි, පේන්නැති අය එබි එබී බලනවයි මම දැක්ක.  -_- අනේ ඔව් ඔව්.. බලන්න තිබ්බ කාගේත් කකුල උඩ තඩි ගස් ගෙම්බෙක් ඇලිල හිටියනම් කට්ටිය react කරන හැටි! අනේ මෙන්න සෝක් ගෙම්බෙක් කියල ඌව අරන් දායි! අනේ මගේ කට!  >:(  :@

අපරාදෙ කියන්න බෑ අර අයියත් බොහෝම අමාරුවෙන් හිනාව නවත්තගත්ත!
“තව පොඩ්ඩෙන් සීට් එක කඩාගෙන පිටිපස්සට යනව! ඔයාට මාර ෆිට්නස් එකක් නෙ ආවේ!!!”

ග්ර්ර්ර්..අනේ මේ මගුලක් කතා කරනව! කකුල් දෙක ගාව ගෙම්බෙක් ඉන්නව දැක්කම පිටිපස්සට වෙනවයි, කෑ ගහනවයි ඇරෙන්න වෙන මොනා කරන්නද! ‘උඹ ඔන්න ඔහොම හිටපන් ගෙම්බො! උඹත් යන්නෙ අවිස්සවෙල්ලටනෙ’ කියල නිකං ඉන්නයැ! ඇයි අප්පා! හා!  >.<

“බස් එක ලෙඩ දෙනව මදිවට ගෙම්බොත් ඇවිල්ලා වද දෙනව!!!” කොන්ද කියනව. Hehe..
එයා කඩදාසියකින් අල්ලලා ඌව විසි කරන්න හදල. අර අයිය නම් කිව්වෙ ඌ එලියට විසි වුනේ නෑ කියල..
“කෝ බං ඌ?” එයා ළඟ හිටගෙන හිටපු අර කොල්ලගෙන් ඇහුව.
“දන්නෑ බං!!” එයත් පොඩි උත්සහයක් දරල කිව්ව.
දන්නෑ තමා! ගෙම්බව එලියට දාන්න කලින් නැගල ඌව එලෝල මෙතන! අලියෙක් වගේ තඩි සපත්තු දෙකකුත් දාගෙන එතනටම අවම ‘ආ..කමක් නෑ, උඹ මාව පාගපන්, මං ඉන්නං!’ කියල ඌ එතනම ඉඳි යැ! නගිනකොට පොඩ්ඩක් බලල නගින්නේ එපැයි බස් එකේ බිම ගෙම්බො, ඉබ්බො, සර්පයෝ එහෙම ඉන්නවද කියල!!

කොහොම හරි අපි හතර වටේ බල බල ඔහොම යනකොට එක පාරට බස් එකේ දොර පැත්ත පාත් වුණා! ගෙම්බගේ බලපෑමක් නෙවෙයි ඉතිං.. මෝඩ ප්‍රශ්න අහන්න එපා!! Lol :P
ආපහු ටයර් එකක හුළං ගිහිං! :O හපොයී!!! බස් එක ආපහු නවත්තල ඩ්‍රයිවර් සහ කොන්දොස්තර දෙන්න බැහැල හොඳ විශ්ලේෂණයක් කළා.. බස් එකේ හොඳටම සෙනඟ පිරිලා හිටියෙ ඒ වෙද්දි.. දැන් බැහැපියව් කිව්වොත් අයියෝ මොකද කරන්නේ කියල කට්ටිය බය වෙලා හිටියට දෙයියනේ කියල බස් එක ආපහු යන්න පටන් ගත්ත. ඒකෙන් මේකෙන් ගෙම්බගේ සීන් එකත් කට්ටියටම අමතක වුණා..

අර අයියට එහා පැත්තෙ හිටගෙන හිටපු ආන්ටි එයාගේ අලි මලු දෙක අයියට දීල අයියගේ කරේ නැගල යනකම්ම වද දුන්න.
“පුතේ ඕකේ කණ්නාඩි දෙක තියෙනව.. හැලෙයි.. පොඩිවෙයි... හපොයි මේ බස් එක! අප්පා! අල්ල ගන්න තැනක් වත් නෑ.. හයියෝ.. හිටගෙන යන්න බෑ.. චක්‍..චුක්..!!!”
එයා බැස්සට පස්සෙ ඉතාම සාමකාමී බවක් අපිට දැනුන. කොහොමහරි ගමනාන්තෙට ලං වෙනකොට නම් පුරුදු විදියට බස් එකේ සෙනඟ අඩු වුණා. අර මුලින් කියපු තට්ට අංකල් ජනේලෙ අයිනේ ඉඳගෙන හොඳට නිදි. එහා පැත්ත හිස්. අංකල් ටික ටික ඒ පැත්තට ඇල වෙලා ඇල වෙලා අන්තිමට තට්ටේ සීට් එකේ ඉඳගන්න කෑල්ලේ ඇන ගත්ත දැකල හැමෝම හිනා වුණා.. ඒ අස්සෙ නා නාප්‍රකාර ring tones ඇහෙනවා .. සමහර ඒවා පොඩි කාලෙ සරඹ කරද්දි දාපු music වගේ :D ආහ්! ඒ අස්සෙ තව අංකල් කෙනෙක් බස් එකටම ඇහෙන්න සිංහ නාදෙන් එයාගේ අක්කෙක්ට phone එකෙන් කතා කරලා එයාගේ ‘කොස් ගහ’ බලන්න සෙනසුරාද 2 ටද කොහෙද එන්න කිව්ව.. hehe.. :P

කොහොමින් කොහොමින් හරි රෑ 10 -10.30 විතර වෙද්දි අපි දෙන්න දෙයියනේ කියල බස් එකෙන් බැස්ස.. හම්බෝ.. ශුහ්හ්!!
ඊට පස්සෙ ගෙදර ඇවිත් මම ඇඟ සෝදලා, කාල නිදා ගන්න කලින් යාලුවෙක්ට message එකක් දැම්ම මොකක් හරි අහල. පස්සෙ මම දැක්ක එය මට reply එකක් එවල තියෙනව “Please forward this message to a better friend!” කියල! :O මම උඩ ගිහිං ඇහැරුනා මහා රෑ මැද්දෙ, බලනකොට ඒ reply එක එවල තියෙනව දැකල තියෙනෙ හීනෙන්!!!!! :P hehe..

හාපොයී!!!!  ඒක නම් මහා පුදුමාකාර සිකුරාදාවක්!!! ආයෙ නම් මෙහෙම සිකුරදාවල් එපා! මේ හොඳටම ඇති!!! වැඩිත් එක්ක!!!!


Tuesday, July 3, 2012

නුඹ අහසක්????!!!!!! :D :D



දවසක් බස් එකේ එනකොට ඇහුන ප්‍රසිද්ධ සින්දුවක පද පේලියක් තමයි මේ පොස්ට් එක ලියන්න පාදක වෙන්නෙ..

“ඇත්තමයි නුඹ අහසක්!!!”

වෙන වැඩකුත් නැති එකේ බස් එකේ ආපු මුළු පැය දෙකකට ආසන්න කාලෙම මේ ගැන කල්පනා කරලා මං පත්
වුණු නිගමන තමයි මේ!!! :D :D

එකක් තමයි මේ ගෑණු ළමයා අහසක් වගේ විහිදී පැතිරී ගිය විසාල තරබාරු දේහයක් තියෙන කෙනෙක් වග.
(මොකද අහස වගේ අසීමිතයි කියල හිතන්න බෑ නෙ අප්පා මනුස්සයෙක්!! ඔන්න තව ආදරේ අහස වගේ වත් කිව්ව නම් කමක් නෑ වත් කිව්ව හැකි!! Lol )

දෙක... එක්කෝ මේ ළමයා මේ කාලෙ අහස වගේ හිටි හැටියේ මූඩ් මාරු කරනව!  නැත්තං ඍතු භේදය අනුව වගේ මේ මූඩ් මාරු කිරීම වෙනස් වෙන නිසාද දන්නෙත් නෑ.. ඒ කියන්නෙ කාලෙකට අඬන්න ගත්තම දිගටෝම අඬනව, ගොරවන්න ගත්තම දිගටෝම ගොරෝනව, හිනාවෙන්න ගත්තම දිගටෝම හිනා වෙනව, සමහර කාලෙට අඬනවද, හිනා වෙනවද, ගොරෝනවද කියල හිතා ගන්න බෑ. ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්.. :D

තුන...මේ ළමයා මොන මඟුලක් කළත් වටේ ඉන්න හැමෝගෙන්ම බැණුම් අහන්න වෙන කෙනෙක් කියන අර්ථයෙන් මේක කිව්ව වෙන්නත් පුළුවන්!

මනුස්සයෙක් අහස වගේ නිල්පාට වෙන්න බැරි නිසා එක්කෝ මේ ළමයා වලාකුළු පිරිච්ච වැහිබර අඳුරු අහසක් වගේ හරි, වලාකුළු එකක් වත් නැති මෙලෝ රහක් නැති හිස් අහසක් වගේ හරි වෙන්නැති කියල කියන්නත් පුළුවන්. ම්ම්... පුළුන් වගේ සුදු රැවුලක් තියෙන නිසා මෙහෙම කිව්ව කියල හිතන්න අමාරුයි නෙ නේද?! Heheh.. Lol

සමහර විට ඉරක් වගේ ගිනි බෝලයක් නිතරම ළඟින් ගැවසෙන  නිසා මෙහෙම කිව්ව වෙන්නත් පුළුවන්. ඔය ඉරේ රස්නෙත් එක්ක අහස දිහා ටිකක් වෙලා බලං ඉන්නකොට ඇස් දෙක නිකං නිලංකාර වෙලා යන ගතියක් එනව වගේ අදහසක්?

ම්... මතක හැටියට නම් එච්චරයි ද කොහෙද! තව මතක් වුනොත් පස්සෙ කියන්නම් හොඳේ!!! කොහොම හරි මීට පස්සෙ කවුරු හරි ඔයාට කිව්වොත් එහෙම ඔයා අහසක් වගේ කියල එහෙම මතක් කරලා අහන්න ඒකෙ තේරුම මොකද්ද කියල!!! Hehehe… :D

ප:ලි:

ආහ්...නවත්තන්න කලින් කියන්න ඕනි මේ සිංදුව පෞද්ගලිකව මමත් ආස සිංදුවක්. ඒ වගේම මේක මේ සිංදුවට හෝ ඒකෙ පද රචකයාට පහර ගහන්න වත්, පණ්ඩිත කතා කියන්න වත් ලියපු ‘විචාරයක්’ නෙවෙයි මගේ සතුට පිණිස කාලෙකට පස්සෙ ලියපු තවත් එක ‘කුරුටු බලියක්’ විතරක් ය කියන එක. ඒ නිසා මේක ඕනවට වඩා serious අරගන්න එපා... හොඳද! :D :D