Saturday, February 20, 2016

',' ', වැස්ස ',' ',


ආයෙමත් වහිනවා..
පිළිස්සෙන ගිනි අව්ව දවාලට පායලා
හවහාට මොර දිදී ආයෙමත් වහිනවා
රළු අහස ඉරි තලා ලොකුම ලොකු වැහි බිංදු
වියළිලා ගිය පොළොව ඉඹිනවා පෙනෙනවා.....
මහ හුළං වැහි මැදින් කැරකෙමින් දුව දුවා
ගස් කොළන් අතු රිකිළි කලතන්න හදනවා
කොහේ කැලතිල්ලක් ද මහා ගස් නට නටා
හුළඟ දෙස ඔච්චමෙන් බලනවා පෙනෙනවා.....

මගෙ හිතත් ඒ වගේ හිටි ගමන් වහිනවා
වේලිලැයි හිතන් දිය ඉහින්නට හදනවා
ඕනැ විට ළඟ නොහිටි මහ හුළං දඟ දදා
අනේ පවු මගේ හිත අවුස්සනු බලනවා....
මං මහා වෘක්ෂයක් දුක් කඳුළු බී වැඩුණු
හුළඟ දැං හිරිකිතයි; හිරිගඩුත් පිපෙනවා
හැකි තරං කැරකිලා ඇති තරං වැහි වැටී
ගියාවේ අපට කුම! හිත මගේ කියනවා.....

5 comments:

සුන්දර කවියක්..

වැස්සකට තෙමෙන්නට හිතට බය දැනෙනවා
ඒත් මං වැහි දැරිය.. ආයෙ හිත කියනවා..
 
ගොඩාක් ස්තුතියි!!
වැසි දැරිය කියන්නෙ වර්ෂාට ම ද? :D
 
ලස්සනයි
 
Amazing
 
Thank you so much!! :) :)
 

Post a Comment