Tuesday, February 14, 2012

ප්‍රේමාගේ ප්‍රේමය!!!!.... :D


ප්‍රේමා අපේ ගෙදර අත් උදව්වට ආවේ මීට අවුරුදු හයකට විතර කලින් වගේ ඉස්සර. එයාගේ මුල් නම ‘ඇලිස් නෝනා’ ය, එයා පස්සෙ එක ‘ප්‍රේමවතී’ කියල වෙනස් කර ගත්තාය, පස්සෙ දැන් ඒක ‘ප්‍රේමා’ වෙලාය වගේ එක එක කතා එක එක්කෙනා කිව්වත් අපි එයාව දැනං හිටපු කාලෙ හැමෝම එයාට කතා කලේ  ‘ප්‍රේමා’ කියල. අරාබිකරේ රට රටවල් ගානක ගෘහ සේවයේ යෙදිල හිටපු ප්‍රේමා අපේ තාත්තටත් වඩා වයසින් වැඩිමල් වුණත් කණට කරාබු දෙකක් විතර දාගෙන, පෝනි ටේල් එකක් දාල, hair band එකකුත් දාගෙන තමයි ඉන්නෙ. එයා ඒ කාලෙ ‘නිළියෙක්’ වගේ කියල ප්‍රේමා ම අනන්තවත් අපිට කියල තියෙනව සහ ප්‍රේමගෙ මල කෝලං වලට අපි සහ අපි දන්න හැමෝම වගේ පණ යනකං හිනා වෙලත් තියෙනව. එයා බයිට් වෙනව කියල මෙලෝ හැඟීමක් නැති අසරණ ප්‍රේමා ඒ වෙලාවට බොහොම සංතෝසෙන් තව තව ඒවා කිය කිය හිනා වෙනව.

ප්‍රේමට හොඳට උයන්න පුළුවන්. ඒ පුළුවන් තරමටත් වඩා එයා උයන කෑම ඉස්තරම් කියල එයා හිතාගෙන හිටපු නිසා එයාගේ ගෑස් ටිකක් වැඩි. එයත් එක්ක වෙන කවුරුත් වැඩ කරන්න එනවට එයා කැමති නෑ. හරියට නිකං අපේ අම්මට එයාගෙ අනුදැනුමක් නැතිව පොල් සම්බෝලෙකට දෙහි දාන්නවත් තේරෙන්නෙ නෑ වගේ. දවසක් අපේ ගෙදර මොකක් හරි එහෙකට ටිකක් හොඳට උයන්න ඕනි වෙලා අම්ම කවුරුහරි cook අංකල් කෙනෙක්ට කතා කරල තිබුන. ආපු වෙලාවෙ ඉඳං අපේ ප්‍රේමා එයත් එක්ක attack! බලං ඉන්න අපිට නම් මාර ආතල්. එයා කරන කරන එකට අනිත් පැත්තට මොනා හරි කරපු ප්‍රේමා අන්තිමට අර මනුස්සයා හදපු කිසි දෙයක් කෑවෙ නෑ. නිකං plain tea එකක් බීල ‘අපෝ මට මේ ඇති!’ කියල නිකං හිටියා.

ප්‍රේමා ඒ කාලෙ හිටියෙ එයාගෙ ලොකු අයියගෙ ගේ ළඟ ඉඩමක පොඩියට හදා ගත්ත ගේ ක. ප්‍රේමගෙ මහත්තය නැතිවෙලා තියෙන්නෙ කොහොමද කියල එය අපිට කවදාවත් කියල නෑ, ඒත් එයාගෙ එකම පුතා හමුදාවට ගිහින් අන්තිමට ආවේ seal තියපු පෙට්ටියකලු. පුතා හමුදාවේ ඉන්නකොට එවපු හැම ලියුමකම උඩින් ලියල තිබුනෙ ‘මගේ රත්තරං අම්මට,’ කියල ලු. ඒ ගැන කියන හැම වෙලාවකම ප්‍රේම අඬනවා මට මතකයි. පුතාගේ නෝනා එහේ එන්න කියල කොච්චර කතා කලත් ප්‍රේම කවදාවත් එහේ නතර වෙන්න ගියේ නෑ. ‘එයාල ඔය කිව්වට වෙනස් වෙනව බබා’ කියල ඒ ගැන අහපු හැම වෙලාවකම එයා කිව්ව. එදා ඉඳං ප්‍රේම අර ගෙදර තනියම. ඒ තනිකම නිසාම වෙන්න ඇති ප්‍රේම කවුරුත් නැති වෙලාවට තනියම කතා කරනව. එයා ගස් වලට, මල් වලට ළමයි එක්ක කතා කරනව වගේ අසාවෙන් හිනා වෙවී කතා කරනව බලාගෙන ඉඳල අපි ඒ දවස් වල ඕන තරම් හිනා වෙලත් තියෙනව.

ප්‍රේම ඇර ගන්නත් උපන් හපන්. එයාට මතක ඇති කාලෙක ඉඳල එයාගෙ පක්ෂෙ අපි කියමු X කියල! ඉතිං එයාට නිකං වත් ඇහෙන්න කවුරු හරි වෙන පක්ෂෙක ගුණයක් හරි, මේ පක්ෂෙ නුගුණයක් හරි කිව්වොත් ඒ මනුස්සය ඉවරයි! ඔහොම කාලයක් යනකොට ප්‍රේමට එයාගෙ ලොකු අයියගෙන් සහ එයාගෙ පුතාල දෙන්නගෙන් සෑහෙන්න කරදර එන්න පටන් ගත්ත එයා ඉන්න ඉඩම විකුනන්න ගේ කඩාගෙන යන්න කියල. ඒ ගැන ප්‍රේම හැමදාම අඬ අඬ අපිට කිය කියා අර පවුලට සාප කළා ඒ කාලෙ. පුංචි මුවක් හැදිලා තිබුන ප්‍රේමගෙ කෙසෙල් ගස් දොළහක් කිසිම හේතුවක් නැතුව කපල දාපු දවසක ප්‍රේම අඬපු හැටි මට මතකයි.
ඒ ඔක්කොමත් අස්සේ ප්‍රේම හිටපු ගමන් අපි ගේන පත්තර වල ‘මංගල දැන්වීම්’ බලන්න පටන් ගත්ත. සමහර ඒවා පරිස්සමින් ඉරල තියාගත්ත. අපි හැමෝම වගේ ප්‍රේමට උපහාසෙන් කතා කළා ඒ ගැන, ඒත් කාත් කවුරුත් නැති ඒ මනුස්සය අර ඔක්කොම කරදර මැද්දෙ තමන්ගේ කියල කෙනෙක් නැතුව විඳින ‘තනිකම’ කොච්චරද කියල ඒ වයසට මට තේරුණේ නෑ.

ප්‍රේම අපේ ගෙදරින් අයින් වුන හේතුව මට ඇත්තටම මතක නෑ. එයාට ඊට වඩා හොඳ රස්සාවක් හම්බෙන්න ඇති. කොහොම හරි ඊට ටික කාලෙකට පස්සෙ ප්‍රේම අන්තිමට ගේ කඩාගෙන අර ඉඩමෙන් අයින් වුණා. ඊට දවස් ගානකට පස්සෙ එයාගෙ අයිය පපුවේ අමාරුවකින් අන්ත්‍රා වුණා. අන්තිම මොහොත වෙනකන්ම අයියගෙ මිනිය බලන්නවත් ප්‍රේම ගිහින් නෑ. ගේ කඩාගෙන අයින් වුනාට පස්සේ මොනා හරි දෙකට ලෑලි වගයක් ඕනි වෙලා ප්‍රේම ගිහින් තියෙනවා අර X පක්ෂේ ප්‍රේම හොඳට අඳුරන මන්ත්‍රී කෙනෙක් ගාවට. ඒ මැතිතුමා හිනා වෙලා කිව්වලු ‘අනේ ප්‍රේම ඉතින් මට ලී මෝලක් නෑ නෙ!’ කියල. අපේ ගෙදර ආපු වෙලාවක ඕක ගෙන කියල ඒ දවස් වල උන්ට කඩේ ගිය හැටි කිය කිය බැනපු හැටි මට මතකයි.

ඔහොම යනකොට... තවත් ටික කාලෙකින් ආරංචි වුණා අනේ අපේ ප්‍රේම ‘බැඳලා’ කියල! ඒ වයසට එහෙම දෙයක් ගැන අහන්න ලැබීමත් හිනා යන දෙයක් වුණත් ඒ මනුස්සය දැන් සතුටෙන් කරදරයක් නැතුව ඉන්න එක ගැන මට ඇත්තටම සතුටුයිප්‍රේමගෙ මහත්තය ‘බාස්සුන්නැහැ’ කෙනෙක්. (අර දැන්වීම් වලින් set වෙච්ච එකක් නෙවයි පොර ප්‍රේම පස්ස්ස්සෙන් ම අවිත් යාළු වුණා කියල තමයි කිව්වෙ හැබැයි.) 

කොහොමහරි.., දැන් ඒ දෙන්න වෙනම ගේක හොඳින් ඉන්නව. ඉඩක් ලැබුන වෙලාවක අපිව බලන්නත් ප්‍රේම එනව. ප්‍රේමට දැන් මහත්තයට කතා කරන්න මොබයිල් එහෙකුත් තියෙනව ලේන්සුවක ඔතල පරිස්සම් කරලා බෑග් එකේ තියාගෙන ඉන්න. ඒ දෙන්න හැම පෝයටම දෙවුරම් වෙහෙරෙ ගිහින් සිල් ගන්නව. දුක් වින්දොත් සැප විඳින්න ලබනවාමයි කියල ප්‍රේම හැමදාම කිව්ව. එයා මෝඩ වුණත් ජීවිතේට ශක්තිමත් ව මුණ දීපු ගෑනියෙක්. එයා ගැන ලියන්න හිතුනේ ඇයි කියන්න මම හරියටම දන්නෙ නෑ..සමහර විට ඒ ගිය සතියේ ප්‍රේම අපේ ගෙදර ආපු වෙලේ අපේ අක්ක බඳිනවා කියල අහපු ගමන් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් සුබ ආරංචිය කියන්න මහත්තයට එවෙලෙම කෝල් එකක් අරගෙන මහා හයියෙන් ‘මගෙ දෙයියෝ’ කියල කතා කරනව මට ඇහුන නිසා වෙන්නත් ඇති. ඇත්තටම ඒකත් පුදුම ආදරයක් කියල මට ඒ වෙලාවෙ හිතුන. ප්‍රේමගෙ චරිතෙත් කතා කරන්න වටින චරිතයක් කියල මට හිතෙන්න ඇත්තෙත් ඒ වෙලාවෙම තමයි.


5 comments:

ආහ්හ්.. මට අමතක වුණා! call කළ වෙලේ පොර කිව්වලු අපේ ගෙදරින් කාල ඇවිත් හවස එයාගේ 'කණට' පිඹින්න කියල!!! lol :))
 
මේ වගේ දේවල් වලට ඔයාට හිනා වෙන්න පුළුවන් කොහොමද කියලා මට තේරෙන්නේ නෑ මල්ලි. කොටින්ම මම නම් මගේ යාළුවෙක් කරපු දේකට හිනා වුනත් මගේ සේවකයෙකුට නම් හිනා වෙන්නේ නෑ. ඒ අය කරන සමහර දේවල් එයාලා කරන්නේ හදවතින්ම හින්දා. අර ඔයාම කියලා තියෙන්නේ ඔයාගේ අක්කා බඳින කතාව අහපු ගමන් එයා ගේ සතුට. ඒ කියන්නේ එයා ඔයාලට සැබැඑවටම ආදරේ කරලානේ.
 
:O ඔයා post එක හරියට කියවල නෑ අයියා.. මම මේ post එක ලිවුවෙත් 'ප්‍රේම'ගෙ චරිතෙ කතා කරන්න වටින චරිතයක් නිසා. ඒක මහ පුදුම බැඳීමක් කියල මට තේරුන නිසා. මම එයාට 'හිනා වුණා' කියල ඔයා කියනවනම් ඒ මේ මම දාපු comment එක නිසා විතරක් ම වෙන්නැති. ඒ මම 'කුරුටු බලි' ලියන විදිය.
අනික සිතූ කියන්නෙ පිරිමි ළමයෙක් නෙවෙයි :)

මට එයාට හිනා වෙන්න ඕනි වුණා නම් මම මේ post එක ලියන්නෙ මෙහෙම නෙවෙයි. ඒත් ඔයා මම ගැන දන්නෙ නැති නිසා මම ඔයා කිව්ව දේට හිත රිද්ද ගන්න එකේ තේරුමක් නෑ නෙ නේද? :)
ඔයාට ස්තුතියි මේ පැත්තේ ඇවිත් අදහස් කිව්වට.. ආයෙත් එන්න. :)
 
ඒක ඇත්ත,,, මිනිස්සුන්ගේ හැසිරීම විවේචනය කරන්න අපිට අයිතියක් නෑ. විශේෂයෙන් ඒක "බොක්කෙන්ම" එන දෙයක් නම්... :)
 
විවේචනය??? errr... අනේ මේක ලිව්වෙ ඒ මනුස්සයගෙ ජිවිත කතාව අගය කරන්න අප්පා... කියෝනකොට එහෙම එකක් දැනෙන්නෙ නැද්ද? :/ එහෙනම් ලියපු මගේ අවුලක්.. සමාවෙන්න ඕනි!! :) :)
 

Post a Comment